සටහන- රුවන් වින්ඩ්සර්
සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන බුද්ධ මන්දිර ද්විත්වයක් පවතින අතර ඉන් පැරණි බුද්ධ මන්දිරය වන්නේ ” පල්ලේ මාලෙ විහාර ගෙය” යි . පල්ලේ මාලේ යනුවෙන් අදහස් වන්නේ පහත මාලය යන්නයි. දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටිය උඩුමාලේ ලෙස ව්‍යවහාර කරනු ලබන නිසා එයට පහතින් ඇති මෙම විහාරයට පල්ලෙ මාලෙ විහාරය ලෙස ව්‍යවහාර කරයි. දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කරන තේවා කටයුතු සඳහා උභය මහා විහාරයන්ගෙන් තේවාභාර නාහිමිවරු පත්කරන අවස්ථාවේ දී උඩුමාලයට සේම මෙම පල්ලේමාලේ විහාරයට ද තේවාව භාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් පත් කිරීම සිරිතක් වන අතර උන්වහන්සේට සහය වීම සඳහා පල්ලේමාලෙ රාළ නමින් නිලකරුවකු ද පත් කොට ඇත.
මුල් යුගයේ දී වැඩසිටින මාළිගාවේ පාතමාලයේ විහාර ගෙයක් පැවති බවට විශ්වාස කෙරෙන අතර එම විහාර ගෙය වෙනුවට මෙම නව ප්‍රතිමා ගෘහය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ( ක්‍රි.ව 1742- 1782) කාළයේ දී කරවන ලදී.
එම යුගයේ දී මෙහි ප්‍රධාන පිළිම වහන්සේ ලෙස තැම්පත් කර තිබූ ප්‍රතිමාව පිළිබඳ නිශ්චිත සාධක නැතත් දෙල්ගමුවේ සිට දළදා වහන්සේ වැඩමවන ලද රිදීමුවා කුඩා මංජුසාවෙහි තැම්පත් කොට ඇති පළිඟුමය බුද්ධ ප්‍රතිමා වහන්සේ එම යුගයේ සිටම මෙහි වැඩ සිටින බව සිතිය හැකිය. එක් අවස්ථාවක මා අසා ඇති පරිදි මෙම පිළිම වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මව්තුමිය වන්දනාමාන කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ වන අතර එය රජු විසින් මෙම ස්ථානයේ තැම්පත් කොට ඇත. ( මෙය සනාථ කිරීම සඳහා නිශ්චිත මුලාශ්‍රය තවම මා වෙත ලැබී නැත)
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු රාජ්‍යත්වය පත් ශ්‍රී රාජාධිරාජසිංහ රජු ( ක්‍රි.ව 1782- ක්‍රි.ව 1798) විසින් මෙම ප්‍රතිමා ගෘහය සංවර්ධන කිරීමේ කටයුතු අරඹා ඇත. ඒ අනුව වර්තමානයේ පල්ලේමාලේ විහාරගෙය වැඩ හිඳින ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම මෙම යුගයේ දී ආරම්භ විය. මේ පිළිබඳව තොරතුරු රැසක් හෙළි වන මුලාශ්‍රයක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, අතිගෞරවාර්හ ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත ” ඓතිහාසික අස්ගිරි මහා විහාරය හා තදනුබද්ධ ලේඛන ” කෘතියෙහි සඳහන් වේ. එම ලේඛනය අස්ගිරි මහා විහාරයේ මුල්ලේගම පන්සල සතු ලේඛනයකි.
ඒ අනුව ශ්‍රී රාජාධිරාජසිංහ රජු තමන්ගේ දේහ ප්‍රමාණයට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදි කිරීමට බලාපොරොත්තු වූ අතර ඒ අනුව ලෝහමය වාත්තු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැනීම සඳහා ඉටියෙන් රූපයක් ද තනන ලදී. කේ. මීගහකුඹුර සූරීන් පවසන අන්දමට මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ නාථ දේවාල භූමියේ දීය.
රාජාධිරාජසිංහ සමයේ දී මෙම ප්‍රතිමාවේ කටයුතු නිම නොවූ අතර එය වාත්තු කරන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ( ක්‍රි.ව 1798 – 1815) කාළයේ දීය. එහෙත් එම යුගයේ දී ද මෙම ප්‍රතිමාවේ කටයුතු අවසන් නොවීය.
ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මෙරට යටත් කරගත් සමයේ දී පත් වූ දෙවැනි දියවඩන නිලමේවරයා වූ දෙහිගම ලොකු බණ්ඩා නිලමේ හෙවත් දෙහිගම අතපත්තු වාසලමුලදි නිලමේ විසින් මෙම බුද්ධ ප්‍රතිමාවේ කටයුතු නිම කිරීමට අවශ්‍ය එකළ ලංකාවේ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් වෙත ප්‍රකාශ කරන ලදී. එහිදී මෙම ප්‍රතිමාවේ ස්වර්ණාලේප කටයුතු සඳහා වරාගං සියයක් ඔහු විසින් ලබා දුන් අතර එකල උඩරට අධිකරණ කොමසාරිස් ධුරය දැරූ සයිමන් සෝවර්ස් […අධිකරණ නායක වූ ශෛමෝන් කොමසාරිස් උන්නාන්සෙ…] හා උඩරට ආදායම් පාලක වූ ජෝන් ඩොයිලි [… ආදායම් ප්‍රධාන වූ ජෝන් ඩොයිලි කොමසාරිස් උන්නාසෙ…] මේ සඳහා උපකාර කළ බව ඉහත සඳහන් ලේඛනය සාක්ෂි සපයයි.
එහි තවදුරටත් “… පුර්වෝක්ත නිලමේ විසින් සවර්නාලේප කරවා නිමකළායින් පසු ඉහත ස්තූති කළ ගොවර්ණදෝරු උතුමාණන් වහන්සේට සැලකළ කල්හි අති ප්‍රසන්න භාවයට පැමිණ…” ලෙස සඳහන් වන අතර මෙසේ මෙම ප්‍රතිමා කර්මයට ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීන් මහත් සහයෝගයක් ලබා දෙන්නට ඇත්තේ ඒ වන විට ඔවුන් 1818 නිදහස් අරගලයට මුහුණ දී තිබූ නිසා ඔවුන් විසින් 1815 ගිවිසුමට අනුව කටයුතු කරන බව උඩරට ප්‍රධානීන්ට හා භික්ෂූන් වහන්සේලාට ඒත්තු ගැන්වීමට විය හැකිය.
ප්‍රතිමාව නිම කරන ලද වර්ෂය ලේඛනයෙහි නිශ්චිතව සඳහන් නොවන අතර ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ යුගයේ සිට වසර විසිපස් වසක් මෙහි වැඩ නිම නොවී තිබූ බව එහි සඳහන් වේ. රාජසිංහ රජු බලයට පත් වූ කාළයේ ම එනම් 1798 එම කටයුතු සිදු කළා නම් වසර විසි පහ ගණන් ගැනෙන්නේ 1823 වර්ෂයටය. මෙහි සඳහන් දියවඩන නිලමේ පත් වූයේ 1824 දී වන අතර ජෝන් ඩොයිලි 1924 මැයි 25 අභාවප්‍රාප්ත විය.
ඒ අනුව මෙම ප්‍රතිමාව පල්ලේමාලේ විහාරගෙයි ප්‍රතිෂ්ඨාපන කරන්නට ඇත්තේ 1824 වන අතර නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කළ දිනය හා වේලාව සිංහල ක්‍රමයෙන් එහි දක්වා තිබේ.
” …මෙම වර්ෂයෙහි මකර රවි දස භාගවූ බුද දින රෑ වූ සත්විසිපැය වෙලාවට නේත්‍ර ප්‍රතිෂ්ඨාපන කරවන ලදී.” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ අවසන් රජවරු දෙදෙනාටම නිම කිරීමට නොහැකි වූ නුවර යුගයේ සුවිශිෂ්ඨ ප්‍රතිමා ශිල්පීය දක්ෂතා ප්‍රකට කරවන එම අගනා ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ අවසානයේ බ්‍රිතාන්‍යයන්ගේ උපකාරයෙන් නිම වී ඉන් වසර දෙසියකට ආසන්න කාළයක් රාජරාජමහාමාත්‍යාදීන්ගේ ද හුදී ජනතාවගේ ද නොයෙක් පුද පූජා නොකඩවා ලබමින් විරාජමාන වැඩ සිටින සේක.
• ආශ්‍රිත මුලාශ්‍ර 1. ඓතිහාසික අස්ගිරි මහා විහාරය හා තදනුබද්ධ ලේඛන - ආචාර්ය ගොඩගම මංගල නාහිමි 2. සිරි දළදා උරුමය සහ මහ නුවර ශ්‍රී දළදා මාළිගාව - කේ.මීගහකුඹුර 3. සිංහලේ ආණ්ඩු ක්‍රමය පිළිබඳ ලුහුඬු සටහන් - ජෝන් ඩොයිලි - ඇල්ලෙපොළ එච්.ඇම්.සෝමරත්න ( පරිවර්තනය )
See 2001 Vesak Stamp, It depicts Pahatha Maalaye Front View.- Sanath Rohana