හිඟන්නන් යනු තම වෘත්තිය ලෙස අනුන්ට අතපාන්නෝ ය. එදිනෙදා විවිධ හේතු පවසමින් සිඟා කන්නන් අප සමාජයේ බහුලව සිටිති. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් සමාජ විද්‍යාත්මක පර්යේෂණය ක් ලංකාවේ සිඟන්නන් ගැන කර ඇත. ඇත්තටම අසරණ සිඟන්නන් ගේ සිට “සිඟන මුදලාලිලා” විසින් මෙහෙයවන සිඟන ව්‍යාපාර ගැනද අප සමාජය මැනවින් දැනුවත් ය. එහෙත්, සානුකම්පිත ජනතාව ක් වන අප පිංතකා සිඟන්නන් හට නිතිපතා දන් දෙන්නෙමු. එහෙත්, දන්දෙන අප සැම සිඟන්නන් ටත් අන්ත පුලන්නන් බවට පත්ව ඇත්තෙමු.
පුලන්නන් යනු ආර්ථික දුෂ්කරතාවයට පත්ව ඇතිමුත්, සිඟා කෑම කල නොහැකි අසරණයන් ය. තම “තත්‍ත්වය පවත්වාගෙන යෑම” හෙවත්, “ස්ටේට්ස් මේන්ටේන් කිරීමේ” අභිලාෂය හේතුවෙන් පුලන්නන්ට සිඟා කෑමට නොහැක.
බංකොලොත් වූ වලව්කාරයන් සේ “වංසේ කබල් ගෑමට” පුලන්නන් සැමවිටම කටයුතු කරති. ලොතරැයියක් ඇදී හෝ තම ආර්ථිකය යහපත් වේදෝයි නිතරම පුලන්නන් අපේක්ෂා කරති. නැතහොත්, කිසිවෙක් යමක් තමන්ට ලබා දේදෝයි සිතමින් වික්ෂිප්ත ව බලා සිටිති. අවාසනාවකට මධ්‍යම පාන්තික මාස් පඩි කාරයින් අද පුලන්නන් බවට පරිවර්තනය වී ඇත. දෛනික ආදායම් ලබා ගන්නා පුද්ගලයින් තම ආදායම උද්ධමනයට සාපේක්ෂව වැඩි කර ගත්තද, මාස් පඩි කාරයින් හට ඒ හැකියාව නොලැබී ඇත.
රටේ සිදුවන ආර්ථික උද්ධමනය සහ විදෙස් විනිමයට සාපේක්ෂව රුපියල බාල්දුවීම හමුවේ ලංකාවේ ආර්ථිකය දිනෙන් දිනම අවුලෙන් අවුලට යමින් පවතී. එහෙත් ආර්ථික අර්බුදය සමනය කරගැනීමට අප සතුව නිවැරැදි උපාය මාර්ගයක් නොමැත.
කොවිඩ්-19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් දෛනික වැටුප් ලැබූ හෝ ස්වයං රැකියා සිදුකල සැම දෙනෙක්ම අපහසුතාවයට පත් වූහ. සුබසාධන පාලන තන්ත්‍රයක් පැවතීම හේතුවෙන් රජය යම් සහනයක් ඔවුන්ට ලබාදුන්නේය. එහෙත් ප්‍රාමාණිකව එය කුඩා අගයක් වූයේ එවකට කොවිඩ් මර්ධන කටයුතු සඳහා අධික වියදමක් ඊට සමගාමීව සිදුකිරීමට වීමත්, රටේ ප්‍රමුඛතම ආදායම් මාර්ග ඒ වනවිට අවහිරවීමත්, අධික ණයබරකට ලක්ව සිටීමත් නිසාය. අදූරදර්ශි ආර්ථික උපාය ක්‍රම, කලක සිට නිසි ප්‍රතිපත්ති නොමැතිව සිදුවන පටු දේශපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් දිනෙන් දින ආර්ථික ආගාධයක් කරා ඇදී ගිය ශ්‍රී ලංකාව “ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නාක් මෙන්” කොවිඩ්-19 ව්‍යසනය හමුවේ අන්ත අසරණ වී ඇත.
අද වනවිට, ලංකා ආර්ථිකය සිඟා කෑම සහ ණය මත, එදා වේල මත පමණක්ම පදනම් වූවක් බවට පත්ව ඇත. තව ලෙසකට පවසන්නේ නම්, අතීත ශ්‍රී විභූතිය වනමින් ලොවට අතපානා සිඟන ආර්ථිකයක් බවට අප පත්ව ඇත. සුබසාධන ආර්ථිකයක් සහිතව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී දර්ශනයක් දරන අපරටේ සමාජ ආර්ථික සම්ප්‍රදාය සහ හැසිරීම මෙවන් ආර්ථික අවපාතයකදී වුවද වෙනස් කර ගත යුතුව ඇත. එය රට පාලනය කරන්නන්ගේ සිට බදු මුදල් ගෙවන අහිංසක රට වැසියා දක්වා වූ සැමගේම වගකීම වන්නේය.
ගෝලිය බලතුලනය යටත් විජිත වාදයෙන් නව යටත් විජිත වාදය කරා ගමන් කරමින් ඇත. බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා කොමිසම ඇතුළු බලවත් රාජ්‍ය සතුව තිබූ ගෝලීය නව යටත් විජිතවාදය, අද වනවිට චීනය කරා බල හුවමාරුවක නියුතු වී ඇත.
චීනය ගෝලීය ප්‍රමුඛයා වීමට සිය “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” නව සේදමාවත ඔස්සේ ගමන් කරමින් සිටී. තම උපායමාර්ගික ආර්ථික මර්මස්ථාන, අදාල රාජ්‍යය වෙත ණයට දී සින්න කර ගැනීම චීන පොලී මුදලාලිගේ ක්‍රමවේදය යි. අධිකව ණයට ගෙන සම්පත් උකසට තැබීමට වංසේ කබල් ගෑමට දක්ෂයින් වන අප සමතුන් ය. චීනය අදාල රාජ්‍යය වෙත ණය ලබා දී, තම සිරකරුවන් සහ තම අමුද්‍රව්‍ය යොදා අවම වියදමකින් අදාල රාජ්‍යයේ උපායමාර්ගික මර්මස්ථාන සංවර්ධනය කොට අත්පත් කරගනී. ලෝකයේ පිලිගත් නීති රීති සම්මුතීන් උල්ලංඝනය කොට හෝ තම අරමුණ කරා ගමන් කිරීමට චීනය ප්‍රමුඛ නව යටත් විජිතවාදය කටයුතු කරති. ලේ හෙල්ලීමකින් හෝ ජීවිත හානියකින් තොරව ආර්ථික ඝාතනයක් හරහා තම අරමුණ කරා ඔවුන් ගමන් කරති.
ආර්ථික අර්බුදයක සිඟන්නන් හා පුලන්නන් ව සිටින අප චීන ගිනි පොලී මුදලාලි හමුවේ දිනෙන් දින ණයබර වැඩිකර ගනිමින් බඩට නොකා ලෙවකමින් දිවිගෙවන්න්නෙමු.
දැන්වත් නින්දෙන් අවදිව අපගේ ආර්ථිකය උපාය මාර්ගික ව ගොඩනැංවීම සැමගේ වගකීම වේ. අවශ්‍ය නම් දැන් වුවද එය අපට කල හැක. ඒ සඳහා දේශපාලන වහල්බව, නොහැකියා මානසිකත්වය සහ සිඟාකා දවස ගතකිරීමේ අභිලාෂය අතහැර ගනිමු
එඤ්ඤං
මං
සත්‍යගවේෂී