මළබද්ධය යනු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව බහුලව ඇතිවන රෝග තත්ත්වයකි. ස්ත්‍රී / පුරුෂ වයස් භේදයකින් තොරව අසන්නට ලැබෙන තත්ත්වයකි. මේ රෝගකාරකය මුල සිට අඳුරගෙන ප්‍රතිකාර නොකළහොත් විවිධාකාර රෝග රැසකට මුහුණ දීමට සිදු විය හැක. ඒ නිසා ප්‍රතිකාර රටාවක් තුළ සුවපත්තාවයටයි මේ උපදෙස.
උපදෙස්
ආයුර්වේද වෛද්‍ය M.G. දිනූශා බාලසූරිය
මූලධර්ම අධ්‍යනාංශය,
වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය,
ගම්පහ.
මළබද්ධය රෝගය හට ගන්නා අයුරු
වර්තමාන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. මෙය ඒකීය රෝගයක් මෙන්ම වෙනත් රෝග ලක්ෂණයක් ලෙස ද ඇති විය හැකි ය.
වැරදි ආහාර පාන රටාව, මානසික ආතතිය, වැරදි සෞඛ්‍ය පුරුදු, දින චර්යාව තුළ වැරදි රටාවන් තුළ ඇතිවීමට බලපායි.
මිනිසාගේ මළ පිටවීමේ යාන්ත්‍රණය පිළිබඳ නිශ්චිත සම්මතයක් නොපවතින අතර එය පුද්ගලානුබද්ධව වෙනස් වේ. සමහරක් දිනකට දෙවරක් පමණ මළපහ වන විට තවත් අයෙකු සතියකට වරක් මළපහ වීම සාමාන්‍ය තත්වයක් විය හැකිය. නමුත් මළපහ වීමේ පමාවකදී එම පුද්ගලයාට උදර වේදනා, බඩ පුරවා දැමීම, හිස හිසරදය, ඔක්කාරය, ශරීර අප්‍රාණිකත්වය පවතින්නේ නම් එවන් අවස්ථාවක ප්‍රතිකාර සඳහා යොමු වීම යහපත්ය.
ආයුර්වේද මූලධර්මයන් සැලකීමේදී මිනිසාගේ සියලු ජීව ක්‍රියාවන් පාලනය කෙරෙනුයේ වාත, පිත්ත හා කප නම් වූ ත්‍රිදෝෂ මගිනි. මෙම දෝෂයන් නියමිත ලෙසට සම තත්වයෙන් සිරුර තුළ පවතී නම් එය නිරෝගී බව ලෙස අර්ථදැක්විය හැක. මළබද්ධ රෝග තත්වයේදී ද රෝග හේතූන් නිසා ඉහත දෝෂයන්ගෙන් සිදු වන විකෘතිතාවයන් මගින් රෝගය ඇතිවීම සිදුවේ. වාතය මඟින් ජීර්ණ පද්ධතිය තුළ ඇති දිර වූ ආහාර ගුදය තෙක් ප්‍රවාහනය කිරීම, පිත මගින් ආහාර ජීර්ණයත් සිදුකරන අතර, කෂ් මගින් දිර වූ ආහාර ලිහිසි කිරීම සිදුකරයි. මෙම ත්‍රිදෝෂ යන්හි සිදුවන යම් හෝ විකෘතිතාවයකින් එයට අදාළ කාර්යය නිසි ලෙස නො කිරීමෙන් මලබද්ධය ඇතිවේ.
රෝගයට හේතු
- අක්‍රමවත් හා වැරදි ආහාර පුරුදු රටා (නිශ්චිත වේලාවට ආහාර නොගැනීම.)
- උෂ්ණ බහුල ආහාර ගැනීම (රතු මාළු / මස්, ඉස්සන්, දැල්ලන්, තක්කාලි, අන්නාසි, පොකිරිස්සන්, කකුළුවන්, අච්චාරු)
- ක්ෂණික / කෘතිම ආහාර රටා බහුලවීම
- ජලය අඩුවෙන් පානය
- සත්ව ප්‍රෝටීන් ආහාර වැඩිපුර ගැනීම
- මළ / මුත්‍රා වේග ය චරණය
- අධික නිදි වැරීම
- මානසික ආතතිය
- ගර්භනී භාවය
- නිසි ව්‍යායාම මදිකම
දීර්ඝකාලීන මේ රෝගය නොසලකා හැරීම තුළ ;
- දීර්ඝකාලීන මලබද්ධ තත්වයන්
- අර්ශස්
- භගන්දර
- ගුද භ්‍රංශ ආදි උපද්‍රව බොහොමයකට මග පාදයි. නිසි වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීම වාඩාත් යෝග්‍යයි.
සතියකට දින 02ක් හෝ 03 ක් මළපහ වීම.
මළපහ පිටවීමේදී අධික වේදනා සහිතව අල්ප වූ සිහින් ප්‍රමාණ (පැන්සලක ප්‍රමාණයේ) මළ පිටවීම.
මළපහ කිරීම සඳහා අධික ව තැටමීම.
ගුද මාර්ගයේ යමක් සිර වී ඇත්තක් මෙන් දැනීම.
මළපහ කළ ද ගුද මාර්ගයේ මළ ඉතිරිව ඇතිවාක් මෙන් දැනීම.
ප්‍රතිකාර
- ජීවන රටාවේ නිසි ආහාර රටාව,
- ව්‍යායාම,
- මානසික ආතතියෙන් මිදීම,
- ජලය වැඩිපුර පානය.
- නිසි වේලාවට අනුව ආහාර ගැනීම.
- කෙඳි සහිත ආහාර, කොළ පැහැති එළවළු, පලා, නැවුම් පළතුරු, ආහාර පාන ගැනීම. (බෙලි, දොඩම්, පැපොල්,පේර )
- මල මුත්‍රා වේගය දරා නොසිටීම.
- තෙල් / පිටි / ක්ෂණික ආහාර වලින් වැළකීම.
- මත්ද්‍රව්‍ය / දුම්පානය වැලකීම.
- නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම.
ඔබ මේ ගැනත් සිතන්න.
වෛද්‍ය උපදෙස් වලින් තොර ගොඩ වෙදකම් වලට යොමු නොවී, ඔබට හිතෙන විරේක බෙහෙත් භාවිත නොකර, ඒ තුලළ ක්ෂණික සහනය ලැබුණ ද මලබද්ධය හටගත් හේතුව මූලික රෝග ලක්ෂණ පහ නොවේ. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තුළ රෝගයට මුල සිට ප්‍රතිකාර රටාව කිරීම තුළ රෝගය වලකා ගත හැක. දීර්ඝකාලීන සුවය ද ඉන් ලැබේ.
ක්ෂණික විරේක අත් බෙහෙත් ඔබ භාවිතය තුළින්
මෙයින් තාවකාලිකව මළ පිට වුණ ද මලබද්ධය ඇතිවීමට හේතු වූ සාධක නිර්ණය කිරීමට නොහැකි වීමෙන් එම මුලික රෝගයට ප්‍රතිකාර නොලැබී යා හැක. එමෙන්ම නිරතුරුවම සිදු කෙරෙන අක්‍රමවත් විරේඛන නිසා ආහාර මාර්ග ක්ෂුද්‍රාන්තය, මහා අන්ත්‍ර බිත්තිවල ඇති වන ආපදා තත්වයන් හේතුවෙන් ආහාර වල පෝෂක කොටස් අවශෝෂණයට බාධා ඇතිවීම නිසා පෝෂක ඌනතා ද ඇති විය හැක.
එබැවින් නිසි වෛද්‍ය උපදෙස් ලබා තම ජීවන රටාව ද නිවැරැදි සෞඛ්‍යමත් කර රෝගී නොවී නිරෝගීව සුවෙන් සිටීමටයි මේ ඇරයුම.