fbpx
තවත්
    මුල් පිටුවspecialගුවන්යානා කුලියට ගැනීම කල්දැමීමට කෝප් කමිටු නිර්දේශ

    ගුවන්යානා කුලියට ගැනීම කල්දැමීමට කෝප් කමිටු නිර්දේශ

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල්දමන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමට අද (25) නිර්දේශ කළේය.

    ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබද සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

    තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කිරීම සහ අදාළ ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

    ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම ගුවන් සේවය පවත්වාගෙන යාම සදහා අතවශ්‍ය කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ ඒ පිළිබදවත් වඩා අවධානයක් යොමු කරමින් අදාළ අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සාකච්ඡාව හේතුවෙන් ඇතිවූ යෝජනාවක් මත අද දින ( 25) කෝප් කමිටුව හමුවට එම ආයතනය කැදවා තිබිණි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24 න් කිහිපයක් ඉදිරි කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු අරඹා දැන්වීම් පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පෙන්වා දුන්හ.

    මේ අනුව අදාළ වෙළද‍පළ තත්ත්වය සලකාබලා මෙම ක්‍රියාවලිය සදහා මාස 6 – 12 අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිදභාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් පතිරගේ මහතා පැවසීය.

    එසේම රටේ කළමනාකාරීත්වය පිළිබදව ඉහල පරිචයක් ඇති වෘත්තිකයන් පිරිසක් එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළ තත්ත්වකට ගෙන ඒමට දරන උත්සහය අගය කරන බවද කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

    පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ විශාල සේවක කප්පාදුවක්ද සිදු කර සේවක වැටුප් අඩු කිරීමටද සිදු වූ බව පෙන්වා දුන් ගුවන් සමාගමේ සභාපතිවරයා සිය සේවක මඩුල්ල ආයතනයේ අභිවෘද්ධිය සදහා දක්වන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන බවද පැවසීය.

    අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු එස්. එම් මරික්කාර්, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img