අතීතයේ සිට සිංහල අලුත් අවුරුද්ද සනිටුහන් කල ශාකය වූයේ එරබදුය.මීට හේතු වූයේ එරබදු මල් බක් මස පිපෙන,ඉතා දීප්තිමත් තද රතු පැහැති වීම නිසා සහ මල් හටගන්නා කාලයේදී ගස බොගහෝ දුරට පත්‍රවලින් තොරව තිබීමෙන් ඒවා ඉතා හොඳින් පෙනීමත් වේ.
එහෙත් මේ වනවිට එරබදු ශාකය ඉතා අඩුවෙන් හමු වන දුර්ලභ ශාකයක් වී හමාරය. එරබදු වටිනා ශාකයක් වුවද, එය කිසිවෙකුත් වගා කළ ශාකයක් නොවීය. ඉබේ හැදුණු ගසක් කපා දමා හෝ මිය ගියා මිස, නව ගහනයන් සිතා මතා ස්ථාපනය නොවිනි. තෙත් කලාපයේ එරබදු ගස් බොහොමයක් ලපටි කඳන් සහ පත්රාවල ගැටිති ඇති කරන කෘමි උවදුර නිසා මිය ගියත්,එයද බොහෝ අවධානයට ලක් වී තිබෙන බවක් පෙනෙන්නට නැත.
එරබදු ශාකයේ විනාසයට හේතුවන මෙම කෘමියා කුඹල් (wasp) විශේශයකි. මෙම ඉතා කුඩා කුඹල් විශේශය Erythrina Gall Wasp (EGW) ((Quadrastichus erythrinae) නමින් හැඳින්වේ. මොවුන් එරබදු ශාකයේ ලපටි පත්‍ර සහ ලපටි කඳ සිදුරු කොට බිත්තර දමති. ඉන් එලඹෙන කීටයා ශාක පටක වලින් තනාගන්නා ගෝලාකාර ගැටිත්තක් සකස් කර ගෙන සුහුඹුලා එය සිදුරු කරගෙන පිටතට එනතෙක් එහි කල්ගත කරයි. මේ වන විට තෙත් කලාපයේ බොහෝ ස්ථානවල තිබූ එරබදු ශාක විනාස වී යාමට පසුගිය කාලයේදී ප්‍රධානතම හේතුව වූයේ මෙම කෘමි උවදුර බව පෙනේ. මෙය් කොතෙක් දරුනු විය හැකිද යාන්ට නිදසුනක් වන්නේ හවායි දූපත් වේ. එහි එරබදුවලින් 95% විනාශ වී ගොස් තිබෙන්නේ මෙම කෘමි උවදුර නිසාවෙනි. නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ නිසියාකාර අවධානයක් යොමුවී නොමැති බවක් පෙනේ.
එරබදු ශාකය ඖෂධීය ගුනයෙන් යුතු වටිනා ශාකයකි. එහි පත්‍ර මෙන්ම බීජත් ඖෂධ ලෙස යොදාගනී. ලපටි පත්‍ර මැල්ලුම විශේෂයෙන් පනු රෝගවලට ගුණදායක අතර බීජ බොහෝ අක්ෂි ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ලදී.
පසුගිය දශකයක පමණ සිට, අවුරුදු කාලයේ මාධ්‍යන් මගින් බොහෝ විට එරබදු මල් ලෙස පෙන්වූයේ විදේශීය විශේශයකි Common Coral Tree /Crist’s Tears / Cockspur Coral Tree (Erythrina crysta-galli). විසිතුරු ශාකයක් ලෙස වගා කරන මේ විශේශයේ මල් තද අඳුරු රතු පාටකින් යුතුය. තවද ඒ මල් හට ගන්නේ දිගු කිනිතිවලය. එමෙන්ම මේ විශේෂය වසර පුරා මල් දරන්නෙකි.
ශ්‍රී ලංකාවේ හමුවන අනිත් එරබදු විශේෂය වන යක්-එරබදු (Erythrina fusca) මීටත් වඩා දුලබ වේ. මේ හැර තේ වතුවල පොහොර සහ හෙවණ ලබාගැනීම පිණිස හඳුන්වා දුන් විදේශීය එරබදු විශේෂයන් කිහිපයක්ද තිබේ. ඒවායේ පුෂ්ප මංජරියේ සහ පුෂ්පවල ස්වභාවය අනුව වෙන්කර ගත හැකි වේ.