වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ හිටුපු ශ්‍රි ලංකා තානාපතිවරයා මෙන්ම රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයාය. දශක තුනකට ආසන්න කාලයක් රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා වර්ධනය වෙනුවෙන් කැපවන ඒ් මහතා රාජතාන්ත්‍රික සබඳතා මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ලොව පිළිගත් ප්‍රවීණයෙකි.
රුසියානු-යුක්රේන යුද්ධය හා ශ්‍රී ලංකාවට එහි ඇති බලපෑම සම්බන්ධයෙන් වෛද්‍ය සමන් වීරසිංහ මහතා කළ නවතම විග්‍රහය මෙසේය.
“මේ යුද්ධය ලංකාවට විතරක් නෙමෙයි ගෝලීය වශයෙන් හැම රටකටම වාගේ බලපාන තත්ත්වයකට අද පත්ව තිබෙනවා. යුක්රේනයට කළු මුහුද හරහා තිරිඟු පිටි අපනයනයට තිබූ ගිවිසුමෙන් රුසියාව ඒ්කපාර්ශවීයව මේ වනවිට ඉවත්ව තිබෙනවා. මීට වසරකට පමණ පෙර තුර්කියේ ඉස්තම්බුල් නුවර දි තමයි මෙම ගිවිසුමට අත්සන් තැබුවේ.
අදාළ ගිවිසුමෙන් රුසියාව මේ වනවිට ඉවත් වීමත් සමඟ කළු මුහුදේ යම් ප්‍රවාහනයක නිරතවන ඔනෑම නෞකාවක් යුධ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස සලකන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. එමගින් ප්‍රකාශ කරන්නෙ අනිවාර්යෙන්ම ඒ නෞකාවලට පහරදිමක් සිදුවිය හැකි බවයි. මේ නිසා කිසිඳු රටක සමාගමක් තිරිගු පිටි ගෙනියන්න යුක්රේනයට ඉදිරියේ දී පැමිණෙන්නෙ නැහැ.
මේ නිසා ලෝක වෙළඳ පොලේ තිරිඟුපිටි මිල ඉහළ යනවා. ඉදිරියේ දී අපි තිරිඟු පිටි ආනයනය කරන විට අනිවාර්යයෙන්ම අපේ රටේ බේකිරි නිෂ්පාදන ඇතුළු තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ යනවා. කළු මුහුදේ ඇතිව තිබෙන මෙම තත්ත්වය රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න තුර්කියේ ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටිනවා.
එහෙත් ක්‍රෙමිලිනය ප්‍රකාශයට පත්කරලා තියෙන්නෙ මෙම ගිවිසුම අත්සන් කරද්දි එක්සත් ජාතින්ගේ සංවිධානය පොරොන්දුවුණු කිසිවක් මේ දක්වා ඉටුකලේ නැහැ කියලා. සිෆ්ට් බැංකු මුදල් හුවමාරු ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්න ඉඩ දීම, යන්ත්‍රෝපකරණ අමතර කොටස් ආනයනයට තිබූ තහනම ඉවත් කිරීම, පොහොර සහ තිරිගු අපනයනයට අවසර දීම වගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපය හෝ ඉටුවුණේ නැහැ.
ඉතිං රුසියාව මේ සම්බන්ධ සාකච්ඡාවකට හෝ පැමිණෙන්නෙ මේ ප්‍රශ්න ටික විසඳුවොත් විතරයි කියලා රුසියාව අද කියලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි තිරිඟු පිටි අපනයනය කරන යුක්රේන ප්‍රධාන වරායක් වන ඔඩෙසා වරායට රුසියාව පහර දුන්නා. මෙතන තියෙන ප්‍රධාන දෙයක් තමයි කළු මුහුද දෙරටේ යුද්ධයේ ප්‍රධාන යුධ බිමක් විධියට ඒ අය නම් කරගෙන තිබෙනවා. රුසියාවට සම්බාධක පමුණපු රටවල් එක්ක තීරණ ගන්නවා කියලා එක්සත් ජාතින්ගේ සංවිධානය මුල්වෙලා රුසියාව සමඟ ඇතිකරගත් ගිවිසුමේ, රුසියානු පාර්ශවය එකඟ වූ සියලු කරුණු ඉටු කළා. එහෙත් ඊට අනෙකුත් පාර්ශවන, යුක්රේනය,තුර්කිය, එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රුසියාව අදාළ ගිවිසුමෙන් ඉවත් වුණා.
ගිවිසුමට අනුව අප්‍රිකාවට වැඩි ප්‍රමාණයක් තිරිඟුපිටි අපනයනය කරන බව කිවුවත් යුක්රේනයෙන් වැඩි තිරිඟුපිටි ප්‍රමාණයක් ප්‍රවාහනය කරලා තියෙන්නෙ යුරෝපා රටවල්වලටයි. අප්‍රිකාවට අපනයනය කරලා තියෙන්නෙ සියයට 2.5 වගේ ඉතා සුළු ප්‍රමාණයක්. මෙවැනි අවස්ථාවක ඒකපාර්ශවීයව ගිවිසුමෙන් ඉවත් වෙන්න රුසියාවට හැකියාව තිබෙනවා.
යුද්ධය තවදුරටත් දිග්ගැස්සුනොත් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යාමට ඉඩ තිබෙනවා. ඉන්දියාව චීනය ඇතුළු බොහෝ රටවල් තවමත් වැඩිම ප්‍රමාණයක් තෙල් මිල දී ගන්නේ රුසියාව හරහායි. එවිට ඛනිජ තෙල් මිල වෙනස ලංකාව ඇතුළු බොහෝ රටවලටත් බලපානවා.
සංචාරක ක්ෂේත්‍රයෙන් රුසියාවෙන් අපට විශාල බලපෑමක් එකවර වෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් රටවල් දෙකක් අතර යුද්ධය තීව්‍රවනවිට ඔවුන් වියදම් පාලනය කරන්න පටන් ගන්නවා. දැනට යුද්ධය රුසියාව හා යුක්රේනය අතර තිබුණත් වෙනත් රටවල් මේ යුද්ධයට ඈදුණහොත් තත්ත්වය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
දැන් මුළු රුසියාව වටේම නේටො සංවිධානයට අයිති රටවල් තමයි වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නෙ.
ෆින්ලන්තය පවා පසුගිය දා නේටො සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තා. නෙටො සංවිධානයේ මේ ක්‍රියාකලාපය තමයි යුද්ධයකට මුල පුරන්න හේතු වුණේ. අපි දන්නවා රුසියාව මුලින් කල්පනා කළේ යුක්රේනය වගේ රටවල් කිසිම පිලකට නොබෙදි ඉදියි කියලයි. එහෙත් ඒ්ක වූණේ නැහැ.
රුසියාව ක්‍රිමියාවේ අලුතින් හදපු පාලමට යුක්රේනය පහර දුන්නා. ඒ කරපු දේට ප්‍රති ප්‍රහාරයක් දෙන්න ඔඩසා හා නිකලායි කියන වරායන් දෙකට රුසියාව පහර දුන්නා. මෙම ප්‍රහාරයෙන් එම වරායවල්වල යටිතල පහසුකම්වලට විශාල වහයෙන් හානි සිදුව තිබුණා.
මෙතනදි මොන විධියට කතා කළත් රුසියාවත් නේටො සංවිධානයත් අතර ඇයි හොඳයියක් ඇති වුණේ නැහැ කවදාවත්.ඊට මූලිකවම හේතුවුණේ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රතිපත්ති හා ඔවුන්ගේ ගමන යන්නේ තමන්ට උවමනා විධියටයි. අමෙරිකාවට තමන්ගෙ බලය ගිලිහිලා යැයි කියලා බියක් තියෙනවා. ඒක තමයි මෙතන මූලික පසුබිම වෙන්නෙ.
මේ යුද්ධය යට අමෙරිකාව ඉන්නවා කියලා හොඳටම පේනවා. යුරෝපය ගත්තම අද සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ අමෙරිකාවෙන්. මේ නිසා ලෝක යුද්ධයක් දක්වා මෙම යුද්ධය තල්ලු වීමේ ප්‍රවණතාවක් අද තිබෙනවා.
රුසියානු යුද ප්‍රකාශනයේ තියෙනවා එයාලගෙ රටේ භෞමික අඛණ්ඩතාවට ගැටලුවක් ඇතිවන අවස්ථාවක අනිවාර්යයෙන්ම න්‍යෂ්ඨික අවි ආයුධ පාවිච්චි කරනවා කියලා. තව දෙයක්, හැම රටක්ම දන්නවා ඒ වගේ යුද්ධයක් ගියොත් ජයග්‍රහණය සමරන්න ලැබෙන්නෙ නැහැ. ඒක මුළු ලෝකයටම ඛේදවාචකයක් වෙනවා. එවැනි තත්ත්වයකට මෙය වර්ධනය වෙන්න කවුරුත් ඉඩ දෙන එකක් නැහැ.
යුක්රේනය මෙම ප්‍රහාර හමුවේ අදටත් නැත්තටම නැතිවෙලා වගේ තියෙන්නෙ. අද තියෙන හානිය ගත්තම ඒක පේනවා. මේ තත්ත්වයට කිසි ලෙසක නෙටො සංවිධානය වග වෙන්නෙ නැහැ. ඔවුන් ඉතිහාසයෙත් මෙවැනි තත්ත්වයන්ට වග කියලාත් නැහැ. යුක්රේනය විතරක් නෙමෙයි යුගෝස්ලෝවියාව ගන්න, ඉරාකය, ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ගන්න නේටො විතරක් නෙමෙයි කිසිම කෙනෙක් කිසි කෙනෙක්ට වග කියලා නැහැ.
සටන් කරන්නෙ යුක්රේනය. අද එයාලා වගකියනවා කියන්නෙ යුද ආයුධ දෙන එක. යුක්රේනය නේටො සංවිධානයේ සාමාජිකයෙක් වුණා නම් අංක 05 වගන්තිය යටතේ නේටො සංවිධානය තමන්ගෙ හමුදාව එවන්න ඕන. එහෙත් යුක්රේනය නේටො සංවිධානයේ සාමාජිකයෙක් නෙමෙයි. අවසන්වරට පැවැති රැස්වීමේ දී ත් ඔවුන්ට සාමාජිකත්වය දුන්නෙ නැහැ.
මෙතනදි නේටො සංවිධානය කල්පනා කළේ රුසියාවේ තිබෙන බලය බිඳ දාන්නයි. නැතිනම් දුර්වල තත්ත්වයකට පත් කරන්නයි. හැබැයි අවි ආයුධ ශක්තියෙන් ගත්තම නේටො සංවිධානයට වඩා රුසියාවේ ශක්තිය සිය ගුණයකින් පමණ වැඩියි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. රුසියාව දැන් සටන් කරන්නෙ රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක් එක්කයි. රුසියානු අවියේ තිබෙන යුදමය වටිනාකම අපට පෙනෙනවා. ඒ වගේම රුසියාවේ යුද ශක්තිය ප්‍රබලයි කියලා ඉන් පැහැදිලියි.
අමෙරිකාව යුක්රේනයට අවි ආයුධ විශාල ප්‍රමාණයක් මේ වනවිට දීලා තියෙනවා. ඒ ආයුධ ඔවුන් ඉතා ඉක්මනින් පාවිච්චියට ගෙන තිබෙනවා. ඒත් ප්‍රතිඵලයක් නොවන තැන තමයි අමෙරිකාව යුක්රේනයට දැන් පොකුරු බෝම්බ දෙන්න ආරම්භ කරලා තියෙන්නෙ. මේ බෝම්බ තවම යුද බිමේ පාවිච්චියට ගත්තෙ නැහැ. යම් විධියකට මේ බෝම්බ පාවිච්චියට ගත්තොත් එමගින් සිවිල් වැසියන්ට විශාල හානියක් වෙන්න පුළුවන්.
මේ යුද්ධයේ දි ශ්‍රී ලංකාව නොබැඳි රටක් විධියට නොබැඳි ප්‍රතිපත්තියේ සිට කටයුතු කිරීම වැදගත්. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට එරෙහිව ගෙන ආ යෝජනාවලට රුසියාව කවදාවත් පක්ෂපාති වෙලා නැහැ.
ඒ අනුව රුසියාව මිත්‍රශීලි රටක් ලෙස අපව සළකනවා. රුසියානු ජනාධිපතිවරයා සහ රුසියානු සමූහාණ්ඩුව කරපු වර්ගීකරණයේත් අපව මිත්‍රශීලි රටක් ලෙස වර්ග කර තිබෙනවා. මෙතන දි යුක්රේනයත් අපේ රටට උදව් කරලා තියෙනවා. ඒක නිසා අපි මේ අර්බුධයෙ දි පක්ෂග්‍රාහීත්වයකින් තොරව නොබැඳි පිළිවෙතක කටයුතු කිරීම තමයි රාජතාන්ත්‍රික වශයෙන් අපේ රටට තිබෙන හොඳම ස්ථාවරය වන්නෙ. ලෝක යුද තත්ත්වයක් ආවත් නොබැඳි පිළිවෙතක ගමන් කිරීම වැදගත්.
ඕනෑම යුද්දයක් අවසන් වෙනවා. හැබැයි කතාවට කියන්නෙ පටන්ගත්ත අය නෙමෙයි අවසන් කරන්නෙ කියලා. ඒ නිසා මේ යුද්ධය තව අවුරුදු ගණනක් දිග් ගැසෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. රුසියාවට විතරක් නෙමෙයි අද යුරෝපය ඇතුළු ඒ රටවල්වල තියෙන ආර්ථිකය ප්‍රශ්න අරගෙන බලන්න. ඒ අයටත් මේ යුද්ධය තව අවුරුද්දක් ගෙනියන්න බැහැ. මුළු ලෝකෙම මෙම යුද්ධය නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මෙය සාකච්ඡාවලින් අවසන් කරන්න සිද්ධ වෙනවා.
රුසියාව සාකච්ඡාවක් වෙනවා නම් ඒ සඳහා ඔවුන්ගේ ස්ථාවරයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ස්ථාවරයන් සඳහා යුක්රේනය තවමත් කැමැති නැහැ. සියයට 50ක් හෝ රුසියානු ස්ථාවරයන්ට කැමති උනොත් මේ සාකච්ඡා ආරම්භ වෙයි.
මෙතන දි යුක්රේනයෙන් රුසියාවට ලිඛිත සහතිකයක් අවශ්‍යයයි නේටො සංවිධානයට ඇතුළත් වුණත් අමෙරිකානු හමුදාව දේශසිමාවට ගෙන එන්නෙ නැහැ කියලා.
රුසියාව මේ යුධ තත්ත්වයට මුහුණ දෙන්නෙ තමන්ගෙ රටේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්න පටන් ගනිමින්. උදාහරණයක් කිවුවොත් 1961 දි මුලින්ම අභ්‍යාවකාශයට යන රොකට්ටුව හදලා යූරි ගගාරින් යවන්න තරම් වැඩක් කරන්න සෝවියට් සමූහාණ්ඩුවට පුළුවන් උනානම්. දෙවැනි ලෝක යුද්ධයෙන් දූවිලි වෙලා ගියපු රටක් ඔය සම්බාදක පනවලා ඇතිවන ප්‍රශ්නයක් විසඳගන්න බැරි තරම් තත්ත්වයකට පත්වන්නෙ නැහැ.
ඒ රටේ මම ඉගෙන ගත්ත නිසා, ජීවත් වුණ නිසා, ඒ රටේ තනාපතිවරයෙකු ලෙස සේවය කර නිසා, මම දන්නවා රුසියානුවො කියන්නෙ කවුද කියන එක. ඇත්තටම රුසියාව තේරුම් ගන්න නම් රුසියානුවෙක් විධියට හිතන්න ඕන. අපි එළියෙන් ඉඳන් බලලා රුසියාව තේරුම් ගන්න බැහැ. මේ යුද්ධය හමුවේ රුසියාව ජාතියක් ලෙස එකට එකතුවෙලා තියෙනවා. එය ජනාධිපති වැලැදිමිර් පූටින්ට වාසි සහගත තත්ත්වයක් වනවාට සැක නැහැ.”