(යූ. වර්ෂකෝන්)
මහනුවර, මාලිගාතැන්නේ පදිංචි යූ. වර්ෂකෝන් මහතා වෘත්තියෙන් ගුරුවරයෙක්. වර්ෂ 1975 දී වසර තුනක නිවාඩුවක් ලබා මැදපෙරදිග රැකියාවක් බලා පිටත් වූයේ ඔහු එරට බරවාහන කාර්මික ශිල්පියෙක් වශයෙන්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ඩිපෝවෙන් කාර්මික ශිල්පියෙක් පිළිබඳ දෑ අවුරුදු වෘත්තීය පුහුණුවක් ලැබූ හෙතෙම එම පුහුණුව සිය විදෙස් සිහිනය සැබෑ කරගනීමට උපකාර කර ගත්තේය.
“හඟුරන්කෙත ඩිපෝවෙන් මම ලැබූ පුහුණුව මට බර වාහන කාර්මික ශිල්පියෙකු වශයෙන් සේවය කිරීමට බෙහෙවින්ම පාදක වුණා. මැදපෙරදිග සේවය කිරීමේදී මට විවිධ වර්ගයේ බර වාහන නඩත්තු කිරීමේ කාර්යභාරය පැවරුණා. ශ්‍රී ලංකාවෙන් ලැබූ පුහුණුව මට එරට සේවය කිරීමේ දී විශාල පන්නරයක් ලැබුවා. මට දැනට ඕනෑම වාහනයක් පැදවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වාහනය ක ඕනෑම කොටසක් ගලවා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මට තියෙනවා.
මැදපෙරදිග සේවයෙන් නිමකොට මෙරටට පැමිණි මම යලි ගුරුවෘත්තියට පිවිසුණාත් ඊට අමතරව වාහන නඩත්තු කිරීමේ සහ රියදුරු පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කළා.
මාගෙන් පුහුණුව ලැබූ තරුණයන් විශාල ප්‍රමාණයක් අද වන විට වෘත්තිීය රියදුරන් වශයෙන් සේවය කරනවා.
අද බොහෝ තරුණ තරුණියන් විදෙස්ගතවීමට සිහින මැවුවත් ඔවුන් නිසි පුහුණුවක් ලබා විදෙස් ගතවන්නේ නැහැ. ඉතා පහසුවෙන් කරන්න පුලුවන් රැකියා කරා පමණයි ඔවුන් යොමු වෙන්න උත්සාහ කරන්නේ. නමුත් විවිධ රටවල එරට පුරවැසියන්ට සිදු කිරීමට නොහැකි කාර්යභාරයන් අපට සිදු කරන්න පුළුවන්.” නමුත් ඒ සඳහා මනා පුහුණුව ලැබිය යුතුයැයි මහතා තවදුරටත් සඳහන් කළේය.
වෘත්තියෙන් ගුරුවරයකු වන වර්ෂකෝන් මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන අතර ඔහු දැනට සංගීත කලායතනයක් පවත්වා ගෙන යයි. මහනුවර මාළිගාතැන්නේ කල්‍යාණී කලා නිකේතනය නමින් හෙතෙම ආරම්භ කළ සංගීත කලායතනය මේ වන විට අත්තනගල්ලේ නව ශාඛාවක් ආරම්භ කරමින් දියුණු තත්ත්වයට ගෙන ඒමට වර්ෂකෝන් මහතා ක්‍රියා කොට තිබේ. මැදපෙරදිග වෘත්තිය සිදුකර ලබා ගත් ආදායමින් සංගීත භාණ්ඩ පමණක් නොව ශබ්ද විකාශන හා හඩ පාලන ක්ෂේත්‍රයෙන් තමන දැනුමක් හා එම අංශයේ වර්ධනයක් ලබා ගත් බව ඒ මහතා සඳහන් කරයි.
ඒ අයුරින්ම මහනුවර දිස්ත්‍රිකකයේ හුන්නස්ගිරිය හෙයාපාර්ක් වතු යායේ තේ වතු කාමරයක පදිංචි වී. විජයකුමාර් මහතාට ඇත්තේ ඊට තරමක වෙනස් අත් දැකීමකි.
(වී.විජයකුමාර්)
හෙයාපාර්ක් වතුයායේ වතු කම්කරුවෙකු වශයෙන් සේවය කරන විජයකුමාර් මහතා පවතින ආර්ථික අභියෝග හමුවේ විදේශ රැකියාවක් කරා යොමු වීමට අදහස් කළේය. මාලදිවයිනේ පදිංචි සිය ඥාති සොහොයුරකු ගේ මාර්ගයෙන් තමන්ට එරට හෝටලයක රැකියාවක් ලබා ගැනීමට උත්සාහ කළ බව ඔහු කීවේය.
ඥාති සොයුරාගෙන් මාලදිවයිනේ හෝටල් රැකියාවක් පිළිබදව තොරතුරු ලැබුණු බැවින් තමන් විදෙස්ගත වීම සඳහා උත්සහ කළ බව ඔහු කීවේය. ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරාලිය යුතු වුවත් සුදුසුකම් ඇති බව සඳහන් කරමින් සහතිකපත් සකස් කර ගැනිම වඩා සුදුසු බව බොහෝ දෙනෙකු උපදෙස් දුන් බව කීවේය. ඒ වෙනුවෙන් තමන්ගෙන් මුදල් ලබා දෙන සහතික පත් මුද්‍රණය කර දීමට මෙන්ම විදෙස් ගත වීමේ උපදෙස් ලබාගැනීම සඳහා නියෝජිත ආයතන කරා යොමු කරවන තැරුව්කරුවන්ගේ උපදෙස් ලැබුණු බව ද විජයකුමාර මහතා සඳහන් කළේය.
ඒ වෙනුවෙන් තමන්ට රුපියල් පනස්දහසක පමණ මුදලක් ගෙවීමට සිදුවූ නමුත් විදෙස් ගත වීමේ උපදෙස් හෝ සුදුසුකම් ඇති බව සඳහන් සහතික පත් හෝ නොලැබුණු බව හෙතෙම කීහ.
“ මම සම්බන්ධ කළ පුද්ගලයාට දුරකථන ඇමතුම් ලබා ගත්තත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නෑ. මම ඔහු සොයාගෙන තෙල්දෙණිය නගරයට නිතරම ගියත් හමුවුණේ නෑ. අවසානයේදී මට තේරුණා මම රැවටුණා කියලා. මට පොලීසියට යන්න විදියක් නෑ, හොර සහතික හදන්න මුදල් දුන්නු නිසා. මේ සිද්ධීය වෙලා දැන් අවුරුදු පහක් විතර වෙනවා. මම විතරක් නෙමෙයි හෙයාපාර්ක් වතු යායේ තරුණ තරුණියන් රැසක් මේවගේ වංචාකාරයන්ට හසු වෙනවා. අපේ වසය වැඩි නිසා රැකියාවලට යන්න අමාරුයි.
හෙයාපාර්ක් වත්තේ මේ වගේ රට රස්සා දෙනවා කියලා ලිපි ලේඛන හදලා රට යන්න බැරිව කොළඹ මේසන් රැකියා කරන ගොඩ දෙනෙක් ඉන්නවා. තේ වත්තේ කුලී වැඩ කරලා ලැබුණු සොච්චම් මුදලයි ණයට ගත්තු මුදලුයි දාලා තමා පාස්පෝර්ට් හදා ගන්නේ. රට යන්න සිහින මවන තරුණයන්ට උපදෙස් මාර්ගෝපදේශන ලැබෙන්නේ නෑ. ඔවුන් අසරණ වෙනවා. මේ රජයේ තේවතු වල ආදායම් නෑ. ඒ නිසා අපිට වැඩ ලැබෙන්නේ නෑ. දින 21ක සේවා කාලයක් දෙනවා කියලා රජය වතු කම්කරුවන්ට පොරොන්දු ලබාදී තිබුණත් පාඩු ලබන රජයේ තේ වතුවලින් නිතරම වැඩ නොලැබෙන බවත වී. වජයකුමාර් මහතා කීවේය.
හුන්නස්ගිරිය හෙයාපාර්ක් මෙන්ම පන්විල, මැදදුම්බර, උඩුදුම්බර ඇතුලු තේ වතු ආශ්‍රිත වතු කම්කරුවන් රැසක් සිය තරුණ දූ දරුවන් විදෙස් රැකියා සඳහා යොමු කරන්නේ තමන්ට නොලැබුණු ශක්තිමත් ආර්ථිකය තම දරුවන්ට හෝ ලබාදීම සඳහාය.
වර්තමානයේ මෙරට උද්ගතවූ අර්බුද හමුවේ බොහෝ දෙනෙකු ගත් තීරණයක් වූයේ විදෙස් රැකියාවක් කරා යොමු වීමයි. මෙරට රැකියා සඳහා හිමිවන ආදායම අඩු මට්ටමක පැවතීම සහ රැකියා වියුක්තිය හේතුවෙන් තරුණ තරුණියන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෑතකාලයේදී සිදුවිය.
ඔවුන් පුහුණු නුපුහුණු භේදයෙන් තොරව විදෙස් ගත වීමට උත්සුක විය.
අනූව දශකයේදී පමණ විදේශ රැකියා වෙළඳ පොලේ ආධිපත්‍ය කාන්තාවන් විසින් ඉසුලුවත් පසුකාලීනව පුරුෂ පාර්ශවය ද ඒ හා සමාන ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමු විය. ගෘහ සේවිකා යන පොදු නාමයෙන් රැකියා කරා යොමු වීම වෙනුවට පසුව පුහුණුව ලත් වෘත්තිකයන් වශයෙන් විදේශ රැකියා සඳහා යොමුවීම බහුලව දැකිය හැකි විය.
ඉංජිනේරු, ගණකාධිකාරි, වාස්තු, වෛද්‍ය, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් සහ ආපන ශාලා සේවක, පිළිගැනීමේ නිළධාරී, හෙද සේවක, අනුපූරක වෛද්‍ය සේවක, පරිඝණක ක්‍රියාකරු සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී ආදී ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයින් වශයෙන් විදෙස්ගත වීම දැකිය හැකිවේ.
එපමණක් නොව මීට අමතරව, මැෂින් ක්‍රියා කරවන්නන්, කර්මාන්ත ශාලා සේවකයින්, වෑල්ඩින් සහ මෝටර් රථ කාර්මික ශිල්පීන්, බර වාහන රියදුරන්, වැනි විවධ අංශවලින් විදෙස් රැකියා සඳහා යොමු වන ප්‍රමාණයට ද සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් සිටිති.
මහනුවර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික හා ග්‍රාමිය ප්‍රදේශවල සැලකිය යුතු පිරිසක් විදෙස් රැකියා කරා යොමුවීමට සැලසුම් සකස් කළෝය.
ඒ අනුව වර්ෂ 2022 දී පමණක් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 30 672ක් විදේශ රැකියා කරා යොමුවීමේ අපේක්ෂාවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී සිටිති.
ආර්ථික අර්බුදය හමුවේ රැකියා කරා යොමු වන මහනුවර තරුණයන්
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වර්ෂ 2018 වන විට මහනුවර දිස්ත්‍රකික්කයේ ඇස්තමේන්තු ගත ජනගහණය ලක්ෂ 15කි . දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 81%ක් ග්‍රාමීය අංශය ද 6.2%ක් වතු අංශය ද නියෝජනය කරති.
එම දෙපාර්තමේන්තුව මෑතකදී සිදුකළ අධ්‍යනයක් අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කුටුම්භයක මධ්‍යන්‍යය ආදායම රුපියල් 43 138ක් වන අතර ගෘහ ඒකකයක මධ්‍යස්ථ මාසික ආදායම රුපියල් 30 300කි.
වතු ආශිත පවුලක අවම සාමාජික සාමාජිකාවන ප්‍රමාණය 05ක්වත් වන අතර රුපියල් තිස්දහසක් වැනි මුදලකට ජීවත් වීම අපහසු නිසා බොහෝ දෙනෙකු විදෙස් රැකියා සඳහා යොමු වීමට උත්සහ කරන බව විදේස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින සමාදානම් ආයතනයේ අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක මහතා පවසයි.
(නිරෝෂන් ඒකනායක)
“ ගෝලීය ආර්ථික අර්බුදය මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙකුගේ රැකියා අවස්ථා අහිමි වුණා. මේ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ වතු හා ග්‍රාමීය අංශවල වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා යොමු වී තිබෙනවා. නමුත් මෙහිදී විශාල පිරිසක් රැවටීමට ලක් කරන ආකාරයත් මිනිස් වෙළදාම හා ශ්‍රම සූරාකෑම සිදුවන ආකාරයත් දැකිය හැකියි.
මේ නිසා විදෙස්ගත වන පිරිස් මෙවැනි වංචනික ක්‍රමවලට ගොදුරුවීමෙන් වැළකීමට දැනුවත් විය යුතුයි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විදෙස් රැකියා නිලධාරීන් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උපදේශන නිලධාරීන් පත් කොට තිබෙනවා. මහනුවර සමාදානම් ආයතනය ද විදේශ රැකියා හමුවේ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධාන කොට තිබෙනවා.“ යැයි සමාදානම් ආයතනයේ අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
විදෙස් රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය
ශ්‍රි ලංකාව වැනි ඌන සංවර්ධිත රටක් සිය සේවා වියුක්තභාවයට විසදුමක් වශයෙන් විදෙස් රැකියා වෙත යොමු වීම හදුනා ගත් විට ඒ සඳහා මැදපෙරදිග කලාපයේ රටවල් සහ කොරියාව, චීනය, මැලේසියාව මෙන්ම ඇතැම් විට ජපානය, ඇමරිකාව, ඉතාලිය වැනි දියුණු රටවල් සඳහා ද යහපත් විභවතාවයක් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අප සමඟ ප්‍රකාශ කළේ, ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් විදෙස් ගත කරවීම නොව පුහුණු තරුණ තරුණියන් වෘත්තිකයන් වශයෙන් විදෙස්ගත කරවීම වඩාත් ඵලදායක වන බවයි. ජාතික ආර්ථීකයට විදේශ රැකියා උත්පාදනය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඉකුත් වර්ෂයේදී රුපියල් මිලියන 1, 252,504 ක මුදලක් විදෙස් රැකියාවලින් මෙරටට හිමිවී තිබුණු බව කීවේය.
(විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර)
මහනුවර දිස්ත්‍රික්කයේ සංක්‍රමණ
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්ත අනුව ඉකුත් වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් විදෙස් ගත වීම සඳහා ලියාපදිංචිවූ ප්‍රමාණය 30 672කි. ඉන් වැඩි පිරිසක් මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශය නියෝජනය කරන අතර ඒ ප්‍රමාණය 20 365කි. වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් ද විදේස් රැකියා සඳහා යොමුවීමට උත්සුක වී තිබේ. සාපේක්ෂ වශයෙන් ජනගහණය අවම මට්ටමක පැවැතියත් මැදදුම්බර 235ක්, මිනිපේ 127ක්, පන්විල 69ක් සහ උඩුදුම්බර 12ක් වශයෙන් විදෙස් ගත වීම සඳහා ලියාපදිංචි වී සිටිති.
විදෙස් ගත වන බොහෝ දෙනෙකු මෑතක් වන තුරු විදෙස් රැකියා සොයා ගත්තේ රට රැකියා කළ සිය ඥාතීන් හෝ හිතවතුන්ගේ මාර්ගයෙන්. “ කොහොම හරි මේ රටට එන්න. ඇවිල්ලා ටික කාලෙකින් හොද රස්සාවක් හොයා ගන්න පුළුවන්‘ යැයි හිතවතා පවසන කාරණය මත මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසක් නීති විරෝධී සංක්‍රමණ සඳහා යොමු වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකාර සජිත් චාමින්ද මහතා අප සමඟ ප්‍රකාශ කළේය.
නමුත් එම තත්ත්වය දැන් වෙනස් කිරීමට අපිට හැකිවුණා. බොහෝ දෙනෙකු දැන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී නිපුණ සංක්‍රමණිකයන් ලෙස විදෙස් ගත වීම සිදුවෙනවා. ඒ සඳහා පුහුණූ මධ්‍යස්ථානවලින් අප කාර්යංශය සමන්විතයි.
පුහුණුව මෙන්ම විදෙස්ගත වූ පවුල් වල සුභ සාධනය වෙනුවෙන් ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විවිධ කාර්යයභාරයන් සිදුකරනවා යැයි මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකාර සජිත් චාමින්ද මහතා සඳහන් කරයි.
ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 570ක් මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානයක් මේ වන විට සිදු කොට ඇති බවත් එය දෙවැනි වන්නේ මහපොල ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණයට පමණක් යැයි ද ඒ මහතා කීවේය.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සතුව මහනුවර, බදුල්ල, අම්පාර, මඩකලපුව, දඹුල්ල, හලාවත ඇතුලුව දිවයිනේ පුහුණු මධ්‍යස්ථාන 18ක් පවතී.
විදෙස්ගත වීම අපේක්ෂාවෙන් ලියාපදිංචි වන ලියාපදිංචි කරුවන් පුහුණු ගත කර වීම මෙම මධ්‍යස්ථාන වලින් සිදු වේ. වෘත්තීය කුසලතාවයන් ඔප් නැංවීම මෙන්ම භාෂා දැනුම පිළිබඳ මූලික අවබෝධය ලබාදීම ද මෙම මධ්‍යස්ථාන වලදී සිදු වේ.
විදෙස්ගතව ඒ ඒ රටවලට අදාළ නීති රීති හා එරට සම්මතයන්ට අනුකුල වීම පිළිබඳ අවබෝධයක් ලබා දීම ද මෙම මධ්‍යස්ථාන වලින් සිදුවන්නකි. පවතින ආර්ථික අර්බුදය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ වතු හා ග්‍රාමීය ආර්ථික නියෝජනය කරන තරුණ තරුණියන් රැසක් මේ වන විට විදෙස් රැකියා කරා යොමු වී සිටිති.
එම සියලු දෙනා දැනට නිපුණ සංක්‍රමණිකයන් වශයෙන් විදෙස්ගත වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලය සඳහන් කරයි.
වෘත්තීය නිපුණත්වය අනුව සිදුකළ වර්ග කිරීමේදී මහනුවර දිස්ත්‍රික්කයේ වෘත්තීය මට්ටමේ නිපුණත්වය ලැබූ ප්‍රමාණය සැලකිය යුතු ඉහළ අගයක් ගනී. කාන්තා නියෝජනය 116ක් වන විට පුරුෂ පාර්ශවයේ වෘත්තීය නියෝජනය 1157 කි.
නිපුණ භාවයට පත් මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 515ක් සහ නිපුණ භාවයට පත් පුරුෂ පාර්ශවය 7820ක් විදෙස්ගතවී ඇත. ගෘහ සහායක තනතුරු සඳහා කාන්තා පාර්ශවය යොමුවීම ඉතා ඉහළ අගයක් ගන්නා අතර මහනුවර දිස්ත්‍රික්කයේ එම අගය 7820 කි.
නමුත් ඉකුත් දශකය තුළ කාන්තාවන් නිවෙස් ගත ගෘහ සේවය සඳහා යොමු වීමේ යම් අඩුවක් දැකිය හැකි බවත් ඒ වෙනුවට වෘත්තීය නිපුණත්වය ට පත් තරුණ තරුණියන්ගේ විදෙස්ගතවීම ඉහළ මට්ටමකට පැමිණෙමින් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලය සඳහන් කරයි.
ඒ අයුරින් මේ වන විට විදෙස් ගතවීමේ දී නිපුණ සංක්‍රමණය පිළිබඳව වැඩි අවධානය යොමු කොට සියලු දෙනා පුහුණු ශ්‍රමිකයන් වශයෙන් විදෙස්ගත කරවීම සඳහා වැඩපිලිවෙල රැසක්දේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දියත් කොට තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් විවිධ මට්ටමින් ජනතාව දැනුවක් කොට කුසලතාවයෙන් පිරිපුන් වෘත්තිකයන් විදේශ රැකියා සඳහා යොමු කරවිමට සැලසුම් සකස් කොට තිබේ. එනමුත් විදෙස් රැකියා සිහිනය සැබෑ කර ගැනිමේ හදිසි අව්‍යතාවය සහ නිපුණතාව පිළිබදව විධිමත් තොරතුරු ගමට සන්නිවේදනය නොවීම නිසා අද වන විටත් බොහෝ පිරිසක් නීතිවිරෝධී අයුරින් විදෙස්ගත වීමේ කූඨ උපක්‍රමවලට හසුවෙමින් සිටියි.
හෙයාපාර්ක් වතු යායේ විජයකුමාර් වැනි අය තැරුව්කරුවන්ගේ උපක්‍රමවලට හසුවද්දී විධිමත් පුහුණුව ලැබූ වර්ෂකෝන් වැනි අය සාර්ථක වෘත්තිකයන් වශයෙන් අදටත් මෙරටට සේවය කරමින් සිටී.