(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට…)
ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක ගැන පර්යේෂණවල නියැලෙන භූගර්භ විද්‍යා සහ භූගර්භ භෞතික විද්‍යා (Geology & Geophysics) අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනිති කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවට වටිනා උරුමයක් හා සම්පතකි. ඔහු හිටපු කීර්තිමත් මහාචාර්ය ඩබ්.එස්.කරුණාතිලක මහතාගේ පුත්‍රයෙකි.
ග්‍රහලෝක ගැන පර්යේෂණ කරනා මහාචාර්ය සුනිති හා සෙසු විද්වතුන් නාසා ආයතනයට අනුබද්ධ පිරිසකි. විශේෂයෙන් අඟහරු ග්‍රහයාගේ මූලාරම්භය විකාශනය හා අනාගතය ගැන කරන පර්යේෂණවල දී මහාචාර්ය සුනිති ප්‍රමුඛස්ථානයේ සිටින්නෙකි.
මහාචාර්ය සුනිති ගේ අඟහරු ග්‍රහයාගේ පර්යේෂණවලදී සොයාගත් කරුණු මත පදනම්ව අගහරු ලොව ඇති පවතින දුර්ලභ සර්පන්ටයින් (සර්පෙන්ටිනයිට්) පාෂාණ නිධි ශ්‍රී ලංකාවේ දකුණු පළාත ප්‍රමුඛ ප්‍රදේශ කිහිපයක පවතින බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. ලංකාවට ආවේනික එම නිධි පදනම් කරගෙන මේ වනවිට වඩාත් පුළුල් ලෙස පර්යේෂණ අරඹා තිබේ. එම පර්යේෂණ සඳහා ලංකාවේ පේරාදෙණිය, මොරටුව, ජයවර්ධනපුර හා කැළණි විශ්ව විද්‍යාලවල අන්තර් විෂයානුබද්ධ පර්යේෂණයන්හි ක්‍රියාකරන ආචාර්ය මහාචාර්යවරුන්ගේ විශේෂයෙන් පිටවෙල, චන්ද්‍රජිත්,මල්ලවාරච්චි, ධර්මප්‍රිය, විතානගේ හා අඹේගොඩ මහත්වරුන් ඊට නායකත්වය දෙමින් සිටිති. එම ලාංකික විද්වතුන්ගේ හැකියාව ජාත්‍යන්තරව ද ගෞරවයට පාත්‍රවීම විශේෂත්වයකි.
මෙම කටයුතුවලදී වාග්විද්‍යාව සහ භූගර්භ විද්‍යාව අතර සම්බන්ධය හා සර්පෙන්ටීන් පාෂාණය ආශ්‍රිත ශ්‍රී ලංකාවේ භාෂාමය දත්ත පිළිබඳ විශ්ලේෂණය වාග් විද්‍යා සහාය, අන්තර් සහයෝගිතා පර්යේෂණය ලබාදෙනුයේ කැළණි විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමිය. උන්වහන්සේ ද ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ (Sabbatical research) ආගන්තුක පර්යේෂක ලංකාවේ සර්පන්ටයින් නිධි පවතින ප්‍රදේශවල ජන සමාජය හා පර්යේෂකයන් අතර වාග් විද්‍යා සංනිවේදන පාලම ලෙස ක්‍රියා කරමින් කපුගොල්ලෑවේහිමි ලබාදෙන දායකත්වය ඉතා වැදගත්ය.
එම හිමියන් හා මහාචාර්ය සුනිති පසුගියදා වොෂින්ටන් DC හි සම්මන්ත්‍රණයකට පැමිණි අවස්ථාවේ පැමිණ තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිස හමුවී මෙම පර්යේෂණ ගැන දැනුවත් කර තිබේ. රාජ්‍ය මැදිහත්වීම හා එම සියලු කටයුතු හා සදහා උපරිම සහාය ලබාදීමට තානාපති සමරසිංහ මහතා සහතික වී තිබේ.
(සර්පෙන්ටිනයිට්) සර්පන්ටයින් ලංකාවට වැදගත් වනුයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත්ය. ඇමෙරිකාවේ නාසා, ජපන් අභ්‍යවකාශ ඒජන්සිය (JAXA), ඉන්දියානු අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය එකතුව චන්ද්‍රයාගේ සිට අඟහරු දක්වා කරනු ලබන පර්යේෂණවලට සම්බන්ධවීමට අවශ්‍ය මූලික දැනුම හා ශක්තිමත් පදනම ලබාගැනීමට මේ තුලින් හැකිවීම ලංකාවට වාසියකි. ඒ හරහා ලංකාවේ විද්‍යඥයන්ට හා පර්යේෂකයන්ට ලෝක අභ්‍යවකාශ ගවේෂණයට පාර කැපීම ද මහගු අවස්ථාවකි.
එසේ ලබාගන්නා දැනුම ලංකා භූගර්භයට ආවේනික හෙයින් සෙසු රටවලට සාපේක්ෂව ආර්ථික පවුරක් ලංකාවට ඇතිවීම වාසිදායක පසුබිමකි. ලංකාවට ලැබෙන එම වාසිය සෙසු රටවලට බිඳලිය නොහැක්කක් වනු ඇත. දැනට ලෝකයේ වර්ධනය වන අභ්‍යවකාශ ආර්ථිකයට ලංකාව ඇතුල්වීම ද ලංකාවට දිගු කාලීන ප්‍රතිලාභයකි.
තවද කෙටි කාලීන වාසි ද පවතී. එනම් ඇමෙරිකාවේ JPL නාසා මධ්‍යස්ථානවලට අනුබද්ධ LUS වැනි පර්යේෂණ විශ්ව විද්‍යාල සමඟ ලංකාවේ විද්‍යාඥයන්ට ක්‍රියා කිරීමේ අවකාශ විවර වේ. එසේම අමෙරිකාවේ ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ අරමුදල් ලබාගැනීම සඳහා ලංකාවට තරඟ කිරීමේ අවස්ථාද උදාවනු ඇත.
එමෙන්ම LSU හි ගංගෝත්‍රි යන නමින් ඇති අඟහරු මෙහෙයුම සංකල්පය ආශ්‍රිතව ආශ්‍රිතව අන්තර්ජාතිකව ලංකාවේ පර්යේෂණ සඳහා අරමුදල් යොදවා ඇති අතර 2023 දී ලංකාවේ භූගර්භ ගවේෂණයට එමෙන්ම නාසා ආයතනයේ අනුග්‍රහයෙන් දැනට ආචාර්ය උපාධි පර්යේෂණයේ නිරත මහාචාර්ය සුනිති කරුණාතිලකගේ ශිෂ්‍යාව වන එමි හග්ස් මහත්මියට මුදල් ලැබුණේ ද ඒ මගිනි. ලංකාවට ලැබෙන තවත් වාසියක් නම් අඟහරු භූගර්භයට අදාළ පර්යේෂණ ලංකාව තුළ ද ඇතිවීම ඊට වඩාත් උනන්දු විදේශ ගවේෂණාත්මක සංචාරකයන් ලංකාවට ආකර්ශණය වීමය. (සර්පෙන්ටිනයිට්) සර්පන්ටයින් පවතින ගම්වලට ඔවුන් පැමිණීම තුළ එම ප්‍රදේශවලට මුදල් ගලා ඒම හා සීග්‍ර දියුණුවක් ඇතිවීමේ ප්‍රවණතාවක් ද පවතී.
ඒ තුළ අගහරු හා ලංකාවේ පවතින (සර්පෙන්ටිනයිට්)සර්පන්ටයින් පාෂාණය ගැන පර්යේෂණ තවදුරටත් වර්ධනය කිරීමට ලංකාව තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශය ද ඒකාබද්ධව කැපවීම වටින බවට මතවාද පවතී. එසේම ලංකාවේ විශ්ව විද්‍යාල තුළ පර්යේෂණ මධ්‍යස්ථාන ආචාර්ය උපාධි පාඨමාලා අරඹා ලාංකික පර්යේෂකයන්ට අන්තර්ජාතිකව සඳ හා ග්‍රහලෝක විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වැනි සම්මන්ත්‍රණවලට සහභාගිවීමට සහ (සර්පෙන්ටිනයිට්) සර්පන්ටයින් තිබෙන පුදේශවල ගුරුවරු පුහුණුකිරීම හා එම ගම්වාසීන් භූගර්භ සංචාරක ව්‍යාපාරයට සූදානම් කිරීම ආදිය ද සිදුකල හැකිය.
මෙම සර්පන්ටයින් නිධිවල ආර්ථික වාසි පවතින බව නොපෙනේ. ඉන් මානවයාට ගත හැකි ප්‍රයෝජන නැති බවට ද උපකල්පන පවතී. එහෙත් විවිධ ආකර්ශනීය වර්ණවලින් පවතින මෙම පාෂාණ නිධි ලංකාවේ ද තිබීම විශේෂත්වයක්ව තිබේ.
අගහරු තුළ පවතින මෙම පාෂාණ නියැදි පෘතුවියට ලැබීමට නියමිතව ඇත්තේ 2035 දීය. එහෙයින් ලංකාවේ දකුණු පළාත පුමුඛ ස්ථානවල පවතින විවිධ වර්ණවල මෙම නිධි ගැන ලොවපුරා නිසි ප්‍රචාරණයක් දියත් කළහොත් මේ ගැන පර්යේෂණ සිදුකරන ලොව විවිධ ආයතන ඒ සදහා ලංකාවේ නිධි යොදාගනු ඒකාන්තය. ඒ හරහා විශාල සංචාරක ප්‍රවර්ධනයක් හා ආර්ථික ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඒකාන්තය.
අඟහරු ගැන පමණක් නොව මහාචාර්ය සුනිති ඇතුළු පිරිස සීගිරිය ගැන ද පර්යේෂණ කරමින් සිටිති. ඒවා සංචාරක ප්‍රවර්ධනයට ද ඉතා වැදගත්ය. එනම් ලුසියානා ස්ටේට් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මැදිහත්වීමෙන්, ප්‍රොක්සිමල් වර්චුවල් රියැලිටි සමාගම හා ලාංකීය විද්වතුන් එකමුතුව සීගිරි රජ මාළිගාවේ රියලැටි ආකෘතියක් එක්ව කටයුතු කිරීමේ ප්‍රතිළුලයකි.