කියවීම හා සාහිත්‍ය රසාස්වාදනය වූ කලී පුද්ගලානුබද්ධ සංවර්ධනයෙහි මෙන්ම සමාජ සංවර්ධනයෙහිද නිහඬ කාර්යභාරයක් ඉටු කරන්නකි. සාහිත්‍යය කන්නදැයි විමසන, විෂය නිර්දේශයෙන් සාහිත්‍යය ඉවත් කරන පාලකයන්ගෙන් පාලිත රාජ්‍යයක රට වැසියන් වන අප සැම මෙකී කියවීම හා සාහිත්‍ය රසාස්වාදය පිලිබඳව විද්‍යාත්මක පසුබිමක සිට ද විමසීම වටී. අත් පොත්හි නොව වත්පොත් හි නෙත් යොමා ගත් මෙවන් සමාජයක වුව සාහිත්‍යයට නැඹුරුතාවයක් ඇති වීම සමාජ ප්‍රගමනයට හේතුවක් වන නිසාවෙන්ම ය.
ස්නායු ජීව විද්‍යාත්මකව (Neurobiologically) මෙන්ම වෛද්‍ය විද්‍යාත්මකව (Clinically) ද කියවීමෙන් පුද්ගල සංවර්ධනය සිදුවන අයුරු බොහෝ අවස්ථාවන් වල සසාධක ව තහවුරු කර ඇත.
මේ ලිපියෙහි මුඛ්‍යාර්ථය වන්නේ දැනුම හා බුද්ධිමය අංශයෙන් වන පුද්ගල සංවර්ධනයට අමතරව සබුද්ධික ආවේග පාලනය (Emotional intelligence), තර්කනය (Logic), පුරෝකතනය ( Prediction), ගැටලු විසඳීම හා ක්‍රමෝපාය භාවිතය (Problem solving and Strategic reasoning), සැලසුම්කරණය (Planning), පරිකල්පනය (Imagination) යනාදී උසස් බුද්ධිමය හැකියාවන් සංවර්ධනයෙහිලා කියවීමෙන් ඇතිවන ධනාත්මක බලපෑම පිළිබඳව විද්‍යාත්මක මතවාද කිහිපයක් ඉදිරිපත් කිරීම යි. කියවීමෙන් සමාජ සංවර්ධනය වන ආකාරය ඉදිරි ලිපියකින් පැහැදිලි කරමි.
කළලයක් ලෙස මව් කුස පිළිසිඳ ගත් දා සිටම ඇරඹෙන විස්මයාවහ ක්‍රියාවලියකි, මිනිස් මොලයේ වර්ධනය හා විකසනය. මියනතුරු නොනවතින මෙම අරුමය විස්තර කිරීමෙහි පහසුවට අවධි හතරකට බෙදා ඇත. උපතින් වසර දෙක දක්වා, වසර දෙකේ සිට හය දක්වා, වසර හයත් දහයත් අතර සහ වයස එකොළහෙන් පසු වැඩිහිටි කාලය දක්වා යනු මෙම අවධි හතරයි. මෙයින් පළමු කාල පරාසය වන උපතෙන් පසු වසර දෙක දක්වා වන වයසේදී හැර ඉන් ඉදිරියට සෑම වයසකදීම කියවීම බුද්ධි වර්ධනය සඳහා ධනාත්මක ප්‍රතිඵල අත් කර දෙන බව පෙන්වන පර්යේෂණ බොහෝ ය.
මිනිස් මොළය විකසනය වීමේදී නව ස්නායු අන්තර් සබඳතා ඇතිවීම සිදුවෙයි. එක් එක් කාර්‍යයන් සඳහා වෙන්වූ මොළයේ ප්‍රදේශ අතර අන්තර් සබඳතා හෙවත් ස්නායුමය පරිපථ ගොඩනැගෙනුයේ නිරන්තරයෙන් සිදු කරන ක්‍රියාවලීන් හරහා ලබන්නා වූ පුහුණුවෙනි. පාපැදියක් පැදීමට පුහුණු වන්නකුගේ ඇස ද කණ ද සංවේදනය ද සමබරතාවය ද චලනය ද යනාදී කාර්යයන් රැසක් එකවර සමායෝජනය කළ හැකි වන්නේ මෙම ස්නායුමය පරිපථ මගිනි.
එසේ පෙර විකසනය වූ ස්නායු පරිපථ තිබීම යම් නව්‍ය අවස්ථාවකට සාර්ථකව මුහුණ පෑමට පුද්ගලයකු සතු හැකියාව වර්ධනය කරයි. ඉහත කී උසස් බුද්ධිමය ගුණාංග සංවර්ධනයට කියවීම සමත් වන්නේ එහෙයිනි.
අප යම් ක්‍රියාවක් සිදු කරන විට ක්‍රියාත්මක වන්නේ මොළයේ ඊට අදාළ ප්‍රදේශය පමණි. fMRI (functional Magnetic Resonance Imaging) හා EEG (Electro encephalography) යන නූතන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතයෙන් කියවීමේ දී ක්‍රියාත්මක වන මොළයේ ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පර්යේෂණ රැසක් මෑතකදී සිදුකර ඇත.
පෙර පැවති මතය වූයේ කියවීම යනු අනුයාත පියවර කිහිපයකින් මොළයේ විවිධ ස්ථාන ක්‍රියාත්මක වන අනුක්‍රමික කාර්යයක් බවයි. අකුරු දැකීමේදී පෙනීම සඳහා වන මොළයේ කොටස ද ඉන්පසුව කථන හා භාෂා භාවිතය පිළිබඳ මොළයේ බාහික පෙදෙස් වන බ්‍රොකා පෙදෙස ( Broca’s area) හා වර්නිකේ පෙදෙස (Wernicke’s area) ද ක්‍රියාත්මක වන බව එකී මතයෙන් දැක්විණ.
එහෙත් කියවීම පිලිබඳව නූතන පරීක්ෂණවල ප්‍රතිඵල පුදුම එළවන සුළු විය. කියැවීමේදී අනුක්‍රමිකව නොව එකවරම මොළයේ ප්‍රදේශ කිහිපයක්ම ක්‍රියාකාරී විය. ඒ කථන හා භාෂා පිළිබඳ ප්‍රදේශ පමණක් නොවේ.
මුලින්ම ක්‍රියාකාරි වුයේ දෘෂ්ටිය පිළිබඳ ව වූ මස්තිෂ්ක බාහිකයයි (Visual cortex). ඒ අකුරු පිළිබඳ දෘශ්‍ය සංඥාව ලද විටය.
ඉන් මිලි තත්පර හාර සීයක පමණ ප්‍රමාදයකට පසු එකවර මොලයේ විවිධ තැන් ක්‍රියාකාරී විය.
කථනය හා භාෂාව පිළිබඳ පෙදෙස සැමවිටම ක්‍රියාකාරී විය. පුහුණු කළ කියවීම ඇත්තා කියවූයේ අකුරු නොව වචන වශයෙනි. මෙහිදී මතකය හා සම්බන්ධව වචනය පිළිබඳ පෙරයීමක් සිදු කෙරිණ.
ව්‍යාකරණානුකූල අවබෝධය හෙවත් සින්ටැක්ටික කෘත්‍යය (syntactic function) සිදුවූයේ වර්නිකේ පෙදෙස හෙවත් භාෂා ඥානය පිළිබඳ මොළයේ පෙදෙසිනි. “I read a letter” යන වාක්‍යය කියවන්නා මෙය අතීත කාල වාක්‍යයක් ද වර්තමාන කාල වාක්‍යයක් ද යන්න වටහා ගත්තේ මේ ඇසුරෙනි. ඒ සඳහා අදාල ඡේදයේ සඳහන් අනෙක් වාක්‍ය සමග මෙම වාක්‍ය සැසඳීමට අවැසි විය.
වාක්‍යාංශයක, යෙදුමක, රූපකයක සැඟවුණු අරුත වටහා ගැනීමට සෙමෙන්ටික කෘත්‍යය (Semantic function) ද මේ වර්නිකේ පෙදෙස ඇසුරින් ම සිදුවිය.
විස්මය ඉපද වූයේ ක්‍රියාකාරී වූ අනිකුත් කොටස්ය.
Lavender, cinammon, coffee ආදි සුගන්ධය හා බැඳුණු වදන් කියවද්දී ආඝ්‍රාණ සංවේදන පෙදෙස (olfactory area) ද එකෙණෙහිම දැල්විණ.
I had the rough day, She had a velvet voice යනාදි වදන් කියවනවිට සංවේදන බාහිකය sensory cortex ක්‍රියාත්මක විය.
“I love your orange laughter.” (පැබ්ලෝ නෙරුඩා ගේ පද්‍යයකි) වැනි පද්‍යයන් රස විඳින්නකුගේ දෘශ්‍ය බාහිකය (visual cortex) ක්‍රියාත්මක විය.
කිහිප වරක් රසවිඳි කොටසක් නැවත කියවීමේ දී මොළයේ අදාළ කොටස්වල ක්‍රියාකාරීත්වය වඩා ඉක්මනින් හා ප්‍රබල ව සිදුවනු ද නිරික්සිණ. මෙසේ එකවර ක්‍රියාත්මක වන කොටස් අතර ස්නායුමය සබඳතා ගොඩනැඟෙන බව ඉන් වඩාත් තහවුරු විය.
හැරී පොටර් කෘතිය රසවිඳින්නකු හට හොග්වට්ස් දුම්රියේ ගමන් කරන අත්දැකීම සැබැවින්ම විඳිය හැක්කේ එබැවිනි.
එපමණකුදු නොව ගැමි ආහාරවල රස වර්ණනා කරන ලාංකික කතුවරයකු යුගයේ ජනප්‍රියම ලේඛකයා වීම විද්‍යාත්මකව ද පැහැදිලි කළ හැකිය.
2009 දී තිමති කෙලර් හා මාසල් (Timothi Keller & Marcel) යන විද්‍යාඥයන් සිදුකළ ඉතා සංකීර්ණ පරීක්ෂණයකින් කියවීම ප්‍රගුණ කළ කුඩා දරුවන්ගේ මොළයේ නව ස්නායුමය පරිපථ බහුලව ගොඩනැගී තිබුණු බව ඔප්පු විය.
වඩා වැදගත් නිරීක්ෂණය වූයේ විද්‍යුත් තිර හා පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූ දරුවන් තුළ මෙම පරිපථ ගොඩනැගී නොතිබීමයි.
කියවන්නා හට පෘථුල වාක් කෝෂයක් ඇති වන බව විද්‍යාත්මකව ඔප්පු කෙරුනේ 1960 තරම් ඈත සමයකය. “මතෙව් ආචරණය” (The Matthew effect) නමින් මෙය නම් කෙරුණේ ශුද්ධ වූ බයිබලය උධෘත කර ගනිමිනි.
“මක්නිසාද යමෙකුට ඇත්තේ ද ඔහුට ලැබෙන්නේය. ඔහුට බොහෝ වන්නේ ය. නමුත් යමෙකුට නැත්තේ ද, ඔහුට ඇති දේද ආපසු ගනු ලබන්නේය.” (ශුද්ධ වූ මතෙව් 12.13)
“whoever has will be given more and they will have an abundance. Whoever does not have, even what they have will be taken from them.” (Matthew 12.13)
නිරන්තර සාහිත්‍ය රසාස්වාදනය ඔබේ වාක්කෝෂය ද මතකය ද පුළුල් කරන බව මේ විද්‍යාඥයෝ පැහැදිලි කළහ.
කියවීමෙන් පරිකල්පනය ගොඩනැගෙන්නේ කෙසේද?
හස්කින්ස් විශ්වවිද්‍යාලයේ දැනට සිදුවන නිම නොවූ පරීක්ෂණයක අභිමතාර්ථය වන්නේය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් හි නැති, කියවීමෙහි ඇති මෙම සුවිශේෂී ගුණය හඳුනාගැනීමයි.
ඔවුන් පවසන්නේ වරින් වර කියවීම නවතා, සිතා බලා, විග්‍රහ කරමින් කියවිය හැකි වීම මේ සඳහා ප්‍රධාන හේතුවක් බවයි. ගුවන් විදුලියට සවන් දීමේ දී රූපවාහිනිය නැරඹීමේ දී හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයකදී මෙම වාසිය ග්‍රාහකයා හට නොමැත.
අවධානය හා චිත්ත ඒකාග්‍රතාව වර්ධනයෙහි ලා ද කියවීම මහත් වූ බලපෑමක් ඇති කරයි. වමේ සිට දකුණට, පෙළින් පෙළ නෙත යවමින්, නැවත සිතමින් කියවීම සුවිශේෂී මානසික ව්‍යායාමයක් බව ස්නායු ජීව විද්‍යාඥ සුසාන් ග්‍රීන්ෆීල්ඩ් පවසයි. කරුණු සෙවීම මූලික කරගනිමින් ඡේද මඟහරිමින් ගවේෂණයේ යෙදෙන අන්තර්ජාල සැරි සැරුමකින් මෙම ප්‍රතිඵලය කොහෙත්ම නොලැබෙන බව ඇය තවදුරටත් පවසන්නීය.
මෙනයින් කියවන, රස විඳින සහෘදයකු එසේ නොකරන්නකුට වඩා බොහෝ උසස් හා පුළුල් මනසකට හිමිකම් කිව හැකි බව පැහැදිලි වේ.
විද්‍යුත් මාධ්‍ය, විද්‍යුත් පොත්, සඟරා බහුල විසි එක් වන සියවසේ විද්‍යාත්මක දත්ත වලට වඩා තම පහසුව මූලික කරගැනීම අරුමයක් නොවේ. කඩදාසියේ මුද්‍රිත පොත්, පුවත්පත්, සඟරා අභාවයට යන දිනය බොහෝ දුර නැත. එහෙත් එදිනට මිය යන්නේ සාහිත්‍යය පමණක් නොව කියවීමෙන් තම දිවිය අරුත්බර කරගත්, මනස වර්ධනය කරගත්, බුද්ධිය කළඹවා ගත් මනුෂ්‍ය සංහතියක් බවද මානසික ඒකාග්‍රතාවයේ සහ පෘථුල මානව බුද්ධියේ අවසානය ද එලෙසම සනිටුහන් විය හැකි බව ද අවධාරණය කළ යුතුය.