fbpx
තවත්
    මුල් පිටුවspecialසමරන්නේ යුද්ධයේ සැබෑ ජයද?

    සමරන්නේ යුද්ධයේ සැබෑ ජයද?

    “බහු වාර්ගික, බහු ආගමික රටක් ලෙස ශ්‍රී ලංකාව 30 වසරක යුද්ධය අවසන් කර වසර 15 කට පසුව යුධ සැමරුම සමරන්නේ කෙසේදැයි?” ඇතමෙක් ප්‍රශ්න කරති.

    ඒ පසුගිය වසර 15 පුරාවට ම රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ  ගැටුම්කාරී සමාජ දේශපාලන සහ ආර්ථික  තත්ත්වයන් පදනම් කරගෙන ය. එහෙත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් සිදුවන්නේ කෙසේදැයි ජනතාවට තේරුම් ගත නොහැකි  බරපතල ගැටලුවක්ව පවතී.

    යුද ජයග්‍රහණයෙන් පසු එවකට සේනාධිනායකයාව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රටේ අනාගත යහපත ලෙස විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින්  ප්‍රචාරය කෙරිනි.

    ( 2009 මැයි මස 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ඔහු කළ කතාවෙ ප්‍රවේශයෙන් කොටසක් 2009 මැයි 20වැනිදා දිනමිණ පුවත්පතෙන් උපුටා දැක්විය හැකිය.

    “සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ  සියලුදෙනා ප්‍රාර්ථනා කළ මිනීමරු ත්‍රස්තවාදයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකළ ඓතිහාසික අවස්ථාවකයි මා මෙ පාර්ලිමේන්තු සැසිය අමතනු ලබන්නේ..”

    එහෙත්, ඉහත කී සියලුම ජනවර්ගයන්ට  පසුගිය කාලය තුළ දී ඔවුන් ප්‍රාර්ථනා කළ නිදහසක් හිමිවූවාද?

    ගෙවුණු වසර 15 හිදී සිදුවූ ගැටලුකාරී තත්ත්වයන් පාදකකරගෙන මේ තත්ත්වය විමර්ශනය කළ යුතුය.

    සැබෑවටම රටතුළ ගැටුම් අවසන් ද?

    ලංකා සභාවේ කුරුණෑගල පදවියේ විශ්‍රාමික රදගුරු කුමාර ඉලංගසිංහ පියතුමා
    • ලංකා සභාවේ කුරුණෑගල පදවියේ විශ්‍රාමික රදගුරු
      කුමාර ඉලංගසිංහ පියතුමා

    “ආයුධවලින් කරපු යුද්ධය ඉවරයි. නමුත් ගැටුමට හේතුවුණ ඉතිහාසගත කරුණු විසඳිලා නැහැ. ඒ ගැටළු විසඳුනොත් විතරයි අපිට තිරසාර විසඳුමකට යන්න පුළුවන්. නමුත් මේ සිස්ටම් ඒක අනුව අපිට එහෙම හිතන්න බැහැ.යුද්ධය අවසන්විමත් සමඟ අපි මිනිස්සුන්ගෙ සිත සුවපත්කිරීමක් කළේ නැහැ. දැන් කුරුණෑගල ඩොක්ටර් සාෆිගේ ප්‍රශ්නය බලන්න. ඒක පිටිපස්සෙ හිටියෙ කවුද? පාස්කු ප්‍රහාරයට වගකියන්න අවශ්‍ය කට්ටිය සුවෙන් ඉන්නවා. පැත්තක ඉන්න අය කුළල් කා ගන්නවා. හෙට අනිද්ද ඡන්දයක් එනවා. දේශපාලනයට ආගම ගේන එක සිංහල, මුස්ලිම්, දෙමළ තුන් ගොල්ලම ඉන්නවා. අපි විවෘත්ත වෙලා මේ ප්‍රශ්නය කතා කරන්න අවශ්‍යයි. එතකොට එකිනෙකාගෙ විවිධත්වයට අපි ගරුකරන්න ඕන.මේ බහුවිධ තත්ත්වය අපේ රටට වාසනාවක්.”

    බහුවිධතාව වාසනාවක් වුව ද Srilanka Brief වෙබ් අඩවිය 2020/10/16 දින සඳහන් කරන පරිදි
    1990 ඔක්තෝබර් මාසයේදී උතුරු පළාතේ මුස්ලිම්වරු 75,000 ක්  දෙනෙකු ඔවුන් පදිංචි භූමිය අතහැර පුත්තලම ප්‍රදේශයේ පදිංචි වෙන්නේ පැය 48 ක් ඇතුළත ඔවුන් පදිංචි භූමියෙන් ඉවත්වන ලෙස එල්ටීටීයෙන් ලැබුණ නියෝගයක් මත ය.

    යුද්ධය අවසන් වී වසර 15 ක් ඉක්ම ගියද ඔවුන්ට ඔවුන්ගේ වාස භූමි හිමි වුවාද? ඔවුන්ගේ තත්ත්වය කෙසේද? නැවත පදිංචි කරවීමේදී මේ පිරිස මග හැරුනේ කෙසේද?

    මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලයේ සභාපති කේ.ආර්.ඒ සිද්ධික් මහතා කියන පරිදි ,

    මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනයේ සභාපති කේ.ආර්.ඒ.සිද්ධික්

    මැයි 18 යුද්ධය ඉවර වුණා තමයි. ඒත් ඒක  මිනිස්සුන්ට පිළිගන්න බෑ . යුද්ධය අවසන් කරන්න ජාති භේදයකින් තොරව  අපි හැමෝම ලොකු සහයෝගයක් දුන්නා. අපි කැමතියි සිංහල, දෙමළ , මුස්ලිම් මිනිස්සු හැමෝම  සහයෝගයෙන් ජීවත් වෙනවා දකින්න. යුද්ධය නිසා සිංහල,දෙමළ,මුස්ලිම් ජාතීන් ලෙස අපි හැමෝම අසරණ වුණා. 

    උතුරු නැගෙනහිරින් එළවපු මුස්ලිම්වරු අදත් පුත්තලමේ ඉන්නවා. ඒ අයට තවම සාධාරණයක් වෙලා නෑ. ඒ අයටත් සාධාරණයක් විය යුතුයි. අද සමාජයේ විවිධ පාර්ශ්ව වලට  විරෝධතා තියෙනවා. මේව කෘතීමව හදපු ප්‍රශ්න. තරුණ කාලේ මම 83 කලු ජූලියටත් මුහුණ දුන්න කෙනෙක්. ඒක මතක්වෙන කොට මම තාමත් බයයි ගැටුම් වලට. අපිට මේ රට තරම් වටින වෙන රටක් නෑ.  අපි හැමෝම මේ රටට ආදරෙයි. අපි හැමෝම  රටේ නීතියට යටත් ව , ජාතිය, ආගම සහ දේශපාලනය පටලවා නොගත්තොත්  හැමෝටම සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්.”

    මේ පිළිබඳව ජනතාව අදහස් පළ කළේ මෙසේ ය.

    ජයනන්දන් වීරසිංහම්

    ජයනන්දන් වීරසිංහම් – පේරාදෙණිය

    යුද්ධය තිබිලත් රට හොඳට ගෙනිච්චා. අපිත් මීට වඩා නිදහසින් ජීවත්වුණා. අද යුද්ධය නෑ. දැන් සිංහල මිනිහයි, දෙමළ මිනිහයි, මුස්ලිම් මිනිහයි තුන්ගොල්ලම ඉන්නෙ බයෙන්. යුද්ධයට වඩා දරුණු ප්‍රශ්නවලින් මිනිස්සු හෙම්බත්වෙලා ඉන්නේ. දැන් කියනව මේ රටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනව කියල. මට දැනෙන විදියටනම් ඒහෙම දෙයක් නෑ. මේ යුද්ධය ඉවර කරන්න මුස්ලිම් අයත් සහයෝගය දුන්නා. මේ ප්‍රශ්න දේශපාලනඥයන් තමන්ගෙ වාසියට කරන වැඩ. ඒ අය එක එක සංවිධාන වලට නායකත්වය දෙනවා. ඔය ජාතිවාදී ,ආගම්වාදී ප්‍රශ්න තියෙන්නේ නායකයන් ළඟ.සාමාන්‍ය මිනිස්සු ළඟ එහෙම ප්‍රශ්න නෑ.
    ඡන්දය ළඟ නිසා කලින් වතාවේ වගේම මේ පාරත් දේශපාලනඥන් පරණ වැඩ ටික පටන් අරගෙන. ඒවට උල්පන්දම් දෙන ආගමික නායකයොත් ඉන්නවා. අපි ඔළුව පාවිච්චි කරලවැඩ කරන්න ඕන.

    යුද්ධය හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූයේ  ලාංකික කාන්තාවන් බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සඳහන් කරයි.

    එම ප්‍රමාණය 89000 ක් බව නිල වාර්තාවල  සඳහන් වේ. එහෙත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසන්නේ එම පිරිස 12,000 ක් වයස අවුරුදු 40ට අඩු තරුණ වැන්ඳඹුවන් බවය.

    යුද්ධය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවෝ කායිකව සහ මානසිකව තවමත් දුක් වේදනා විඳිති. සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් ඔවුන් දැඩි අසරණ බවට පත්ව සිටී.

    යුද්ධය හේතුවෙන් තම පුතා අහිමිවූ මවකගේ කතාවයි මේ.

    ජයවතී වනිගසූරිය -ගම්පහ, උඩුගම්පොළ

    මට හිටියේ දුවයි, පුතයි. පුතා 2009 යුද්ධය අවසන් කාලෙදි අතුරුදන් වුණා. ඒ දුකටම ඊට අවුරුදු දෙකකට පස්සේ මහත්තයත් නැති වුණා. පුතා නැතිවුණ අලුත රජයෙන් වගේම සංවිධාන වලිනුත් ආධාර ලැබුණා. ඊට පස්සේ ඒ මොකක්වත් නෑ.
    මම රස්සාවක් කළේ නෑ. ඒ නිසා දුවටත් උගන්නගෙන ජීවත් වෙන්න මම ලොකු සටනක් කළා. දැන් දුව කසාද බැඳලා. මෙච්චර කල් මට සමෘද්ධිය ලැබුණා. හැබැයි අස්වැසුම දෙන්න ගත්තම මට ඒක දුන්නේ නෑ. යුද්ධය නිසා පීඩාවට පත්වුණ ගෑණු අයට සහන සලසනව කිව්වට ඒක හරියට කෙරෙන්නේ නෑ.

    යුද්ධය අවසන් වුවත් ඊට මුලිකවූ ආර්ථික,සමාජීය හා දේශපාලන කාරණා විසඳී තිබේද.මර්දනයෙන් සමාජීය ප්‍රශ්න විසඳිය හැකිද?

    සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි මෙසේ පැවසූහ.

    සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි

    යුද්ධය අවසන්වෙලා අවුරුදු 15ක් ගතවුණත් ඒ අඳුරු සෙවණැලි සමාජයේ තවම තියෙනවා. එදා හිටපු නායකයොයි, දැන් ඉන්න නායකයොයි හමුදාව,පොලීසිය දාගෙන ප්‍රශ්නය මර්දනය කරනව මිසක ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නෑ. යුද්ධය නැවතිලා අවුරුදු 15ක් ගතවුණත් යුද්ධයට මූලික වුණ ආර්ථික,සමාජීය හා දේශපාලන ප්‍රශ්න ටික ඒ විදියටම රට ඇතුලෙ තියෙනවා. ඒ නිසා සිංහල,දෙමළ,මුස්ලිම් අපි ඔක්කොම අපිටම පේන්නෙ බෙඳුම්වාදීන් පිරිසක් විදියටයි. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මානව අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම අපි කාටත් පොදුයි.

    යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරේ මෙන්ම දකුණේ ද අන්තවාදී සංවිධාන බිහි උනා. බොදුබල සේනා,රාවණා බලය , ආවා කල්ලිය, තව්හිද් ජමාත් යන  දෙමළ හා මුස්ලිම් අන්තවාදී සංවිධාන බිහිවීමේ මූලික අරමුණු මොනවාද?

    මේ ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ අදහස් ය.

    “යුද්ධය තමයි මේ රටේ ජාතිකවාදය ශක්තිමත් කළ ප්‍රධාන සාධකය. නමුත් යුද්ධය නිමාවත් සමඟ ජාතිකවාදය පිළිබඳව ලොකු අවුලක් මේ සමාජයේ ඇතිවෙලා තියෙනවා.
    මෑත කාලයේදී ජාතික වාදය කියන කාරණය ඈදෙන්නෙ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය එක්කයි. යුද්ධයෙන් පසුව ජාතිකවාදය මුල්කරගෙන බොදුබල සේනා, රාවණා බලය,මහසෝන් බලකාය වගේ විවිධාකාර සංවිධාන බිහිවුණා.උතුරෙත් එහෙම සංවිධාන බිහිවුණා.ඒවා ඇතිවුණේ දේශපාලන බලය ගන්න. නමුත් දැන් ඒවට ජනතා ආකර්ශනය නැතිවෙලා. ඒ නිසා ජාතිය කියන කාරණාවට අභියෝගයක් එල්ලවෙලා තියෙනවා. අන්ත ජාතිකවාදීන් මෙන්ම මධ්‍යස්ත ජාතිකවාදී කඳවුරත් වෙනස් වෙලා.”

    තිස් අවුරුදු යුද්ධය අවසන් වුවද යුද්ධයට මූලික වූ ආර්ථික,සමාජිය හා ආර්ථික ප්‍රශ්න විසඳී තිබේද?.තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මනුස්ස අයිතිවාසිකමක් නොවන්නේද?

    ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරී නීතීඥ නුවන් බෝපගේ මෙසේ කීවේ ය.

    මේ රටේ තියෙන ජාතික ගැටලුවෙ ප්‍රකාශනය තමයි යුද්ධය විදිහට එළියට ආවේ. දැන් යුද්ධය නෑ. නමුත් රටේ ජාතික ගැටලුව තවමත් තියෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය නොවීම. අපි සියලුම දෙනාගේ ප්‍රශ්නවලට මේ ක්‍රමය ඇතුලේ විසඳුම් නැහැ. ඒ වගේම යුද්ධය නිමා වුණා කියල ආර්ථික ස්ථාවරත්වයක් ඇති වුණෙත් නෑ.ඒ නිසා එදා යුද්ධයට බලපෑ ආර්ථික,සමාජීය හා දේශපාලන කාරණා ඒ විදියටම අදත් තියෙනවා.

    දැන් අපේ පාලකයො කියනව රටේ ජාතික ප්‍රශ්නයක් නෑ කියල. නමුත් එහෙම එකක් තියෙනව කියල පෙන්වන්න හොඳම උදාහරණය තමයි මේ රණවිරු සැමරුම. යුද්ධය කියන්නේම මේ රටේ පාලක පංතිය පීඩිත ජනතාව මත පටවපු ප්‍රශ්නයක්.යුද්ධයෙන් මිය ගියේ ඈත ගම්වල සෙබළු. උතුරේ කුල පීඩනය නිසා දුක්විඳි තරුණයන් තමයි අවි අතට ගත්තේ. තරුණ කොටස් දෙකක් මිය ගියා කියන සහකම්පනය සමාජයට තියෙන්න ඕන. ඒ ගැන ජාතික සංවාදයක් තියෙන්න ඕන. නමුත් අපේ සමාජයේ එහෙම සංවාදයක් නැහැ.

    නමුත් පාලකයන්ට යුද්ධ නිමාව සැමරීම අත්‍යවශ්‍යනම් ඒ අයිතිය දකුණට වගේම උතුරටත් ඒ විදියටම දෙන්න ඕන. මොකද දෙපැත්තෙන්ම මැරුණෙ ලංකාවේ මිනිස්සු.

    මේ නිසා අපේක්ෂා භංගත්වයෙන් හැල්මේ දුවන සමාජයක් නිවරදි මාවතට ගෙන ඒමට තවත් කොපමණ කලක් ගතවේද යන්න අපට ප්‍රශ්නයකි.

    නාලක සංජීව දහනායක

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img