අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සේවා අඩපණ කරමින් වර්ජනය කිරීම නිසා සේවය අත්හිටුවූ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 62 දෙනා වෙනුවෙන් නඩු කටයුතු සඳහා, එම වර්ජනය මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් රුපියල් ලක්ෂ 55ක් සේවකයන්ගෙන් එකතු කර ඇතැයි වෘත්තිය සංගම් විසින් විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සේවය අත්හිටුවූ විදුලි සේවකයන් සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳ නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදුලිබල පනත සම්මත වීමත් සමඟ විදුලිබල මණ්ඩලයට අනුබද්ධ සෙසු සියලු ආයතන පෞද්ගලීකරණය වන බවට බොරු කියා සේවකයන් පාරට බැස්සූ ජනතා විමුක්ති පෙරමුණ සේවය අත්හිටුවූ සේවකයන් වෙනුවෙන් පෙනී සිටීම සසඳහා තම පක්ෂයේ නීතිඥවරයාට රුපියල් ලක්ෂ 55ක් එකතු කර ඇති බවයි.
පසුගිය ජනවාරියේ මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර පනත සම්මත වී මේ වනවිට මාස 2ක් ඉක්ම ගොස් ඇත.
අමාත්‍යවරයා පවසන්නේ එවැනි පෞද්ගලීකරණය කිරීමක් සිදුව නොමැති අතර අවසානයේ සිදුවූයේ ජවිපෙ මෙහෙයවූ වර්ජනය නිසා විදුලි සේවකයන් 62 දෙනකු මාස 6ක් තිස්සේ නිවසේ සිටීමට බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් එම නඩුවලට තම නීතිඥයා නොමිලේ පෙනී සිටින බව කියා සිටියත් රුපියල් ලක්ෂ 55 එකතු කර ඇත්තේ ද විදුලි සේවකයන්ගෙන් බව විදුලි සංගම් පසුගියදා තමා වෙත මැසිවිලි නැගූ බවට අමාත්‍යවරයා කියා සිටී.
ඒ පිළිබඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය පහත වීඩියෝවෙන් දැක්වේ.