සටහන -පැතුම් ඒ. රණසිංහ
බංග්ලාදේශයෙන් පැන ගිය හිටපු බංග්ලාදේශ අගමැතිනිය දැන් ඉන්නෙ ඉන්දියාවෙ. ඇයට ඉන්දියාවෙන් විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව කියනවා. මේ අතර ඇය සිදු කළ ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වෙද්දි මුළු ලෝකයේම කතා බහට ලක් වෙලා.
මියන්මාර-බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ වෙරලට කිලෝමීටර් 9 ක් විතර ඈතින් බංග්ලාදේශයට අයිති දූපතක් තියනවා. ඒක හඳුන්වන්නේ ශාන්ත මාටින් දූපත කියලා. ඒ දූපතේ විශාලත්වය වර්ග කිලෝමීටර් 3ක් විතර. එහි පදිංචිකරුවන් 3,700 ක් විතර ඉන්නවා. බංග්ලාදේශය සහ මියන්මාරය අතර 80 දශකයෙ විතර ඉදන්ම මේ දූපත මූලික කරගෙන යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියනවා. නමුත් මේ දූපත ගැන තියුණු ජාත්‍යන්තර අවධානයක් යොමු වුණේ 2000 ගණන්වල මුල.
ෂෙයික් හසීනාගේ ප්‍රබලම දේශපාලන ප්‍රතිවාදියා වෙන්නෙ හිටපු අගමැතිනි Khaleda Zia. 2001 මැතිවරණයෙන් බංග්ලාදේශයේ බලය දෙවන වතාවටත් ලබා ගන්න Khaleda Zia සමත් වුණා. ඇයගේ එම ජයග්‍රහණය සඳහා ඇමරිකාව උදව් කළ බවත්, ඒ උදව්වට හිලව් වෙන්න Khaleda Zia විසින් ශාන්ත මාටින් දූපත ඇමරිකාවට පවරා දීමට උත්සාහ කරන බවටත් ෂෙයික් හසීනාගේගේ අවාමි ලීගය විසින් ඒ යුගයේදී දැවැන්ත චෝදනාවක් ගොඩ නැගුවා. දේශපාලන වේදිකාව මත සිදු කෙරුණු මේ චෝදනවා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරන්නට 2003 වර්ෂයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සිදු වුණා.
දැන් බලයෙන් පහ වෙලා ඉන්දියාවට පළා ගිහින් ඉන්න ෂෙයික් හසීනා කියන්නෙ ශාන්ත මාටින් දූපත තමන්ට පවරා දෙන ලෙස ඇමරිකාව තමන්ට බලපෑම් කළ බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ නිසා ඇමරිකාව කුමන්ත්‍රණකාරී ලෙස තමන්ව බලයෙන් පහ කිරීම සඳහා කටයුතු කළ බවත්. මේක කීප අතකින්ම ඉතා බරපතල ප්‍රකාශයක්. එම ප්‍රකාශය ඔස්සේ නව මානයකින් බංග්ලාදේශ ජනතා කැරැල්ල දෙස බැලීමට ලෝකයට සිදු වෙලා තියනවා.
ෂෙයික් හසීනාගේ පාලන කාලය තුළ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකා Khaleda Zia ව දූෂණ චෝදනා මත සිරගත කළා.ඒ 2019 වසරෙදි. ඇයව සිරගත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි සිත් රිදීමකින් සිටිය බවත්, ඇයව නිදහස් කර ගැනීම සඳහා මානව හිමිකම් කෝණයෙන් මැදිහත් වීම් සිදු කළ බවත් රහසක් නොවෙයි. අවුරුදු 17 කට සිර දඬුවම් ලබා හිටපු Khaleda Zia ජන කැරැල්ලේ ආසන්නතම ප්‍රතිපලයක් ලෙස අගෝස්තු 05 විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබුවා. මේ සියල්ල භූ දේශපාලනය සමඟ ගැට ගැහිලා තියන කතන්දර.
බෙංගාල බොක්ක කලාපය ආර්ථික වශයෙන් සහ යුධමය වශයෙන් ඉතා වැදගත් කලාපයක්. චීනය විසින් මියන්මාරය ඔස්සේ බෙංගාල බොක්කට ප්‍රවේශ වීමට ප්‍රයත්න දරන බව කලෙක ඉදන් නිරීක්ෂණය වෙනවා. මියන්මාරයෙ යැන්ගොන් වරායෙ ඉදන් චීනයේ යූනාන් පළාතට කාගෝ ප්‍රවාහන මාර්ගයක් ක්‍රියාත්මක වෙනවා. චීන රාජ්‍ය සමාගමක් මියන්මාරයේ Kyaukpyu හි වරායක් සහ කාර්මික කලාපයක් ඉදි කරන්න ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කරලා තියනවා. මියන්මාරයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සංවිධාන්වලට එරෙහිව සටන් කරන්න මියන්මාර හමුදා රජයට මිලිටරි ආධාර සපයන ප්‍රමුඛයා වෙන්නෙත් චීනය. (ලෝකයේ විශාලතම ථෙරවාද බෞද්ධ රාජ්‍ය ලෙස මියන්මාරය අද මුහුණ දීලා තියන දුක්ඛිත තත්ත්වය ගැන වෙනම කතා කරමු). ඉන්දියන් සාගරය තුළ චීනයේ බල ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යම් පාර්ශවයකට අවශ්‍ය නම් ඒ සඳහා චීනය ගොඩබිම් මාර්ගයෙන් බෙංගාල බොක්කට ප්‍රවේශ වීමට දරණ උත්සාහය පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. ඉතින් ඒ වගේ කල්පනා කරන කණ්ඩායමකට ශාන්ත මාටින් දූපත කොයි තරම් වටිනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.
මේ අතර බංග්ලාදේශ ජන කැරැල්ල තුළ චීනය විසිනුත් භූමිකාවක් රඟ දැක්වූ බවට ඉන්දියාවේ සිට ක්‍රියාත්මක ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තියනවා. මේ සියල්ල තුළ බංගලි ජන රැල්ල අහඹුවක් නොවෙන බව පැහැදිලියි.
මුළු ලෝකයම මේ මොහොත ගත කරමින් ඉන්නෙ යුධ සූදානමක. ලෝකය පුරාම ඉතා තීරණාත්මක යුධ උණුසුමක් වර්ධනය වෙනවා. දියාගෝ ගාර්ෂියා දූපත මූලික කරගෙන නේටෝව ඉන්දියන් සාගරය තුළ තමගේ යුධ සූදානම පුළුල් කරනවා. බංග්ලාදේශයේ සාන්ත මාර්ටින් දූපතත් තවත් යුධ කඳවුරක් බවට පත් කර ගැනීම සඳහා ඇමරිකාව කටයුතු කරනවා නම් එය සමස්ත කලාපයටම තර්ජනයක් වේවි. මේ මොහොතේ ඉන්දියාව BRICS සමූහයට වැඩි වැඩියෙන් පක්ෂපාත වෙන බව පෙනෙන්න තිබෙනවා. ඉන්දියාවේ බල වුවමනාවන් වඩාත් පුළුල් වීම එක්ක නේටෝව පවා ඉන්දියාව දිහා සැකයෙන් බැලීමට පවතින ඉඩකඩ වැඩියි.
ශාන්ත මාර්ටින් දූපතේ යුධ කඳවුරක් ඉදි කිරීම සඳහා ඇමරිකාව උත්සාහ කරන බව ෂෙයික් හසීනා කියන්නෙ ඉන්දියාවෙ ඉදගෙන. ඒ තුළ ඇය විසින් ඉන්දියාවට වක්‍රාකාරව අනතුරු හැඟවීමක් සිදු කරන බවයි මට පෙනෙන්නේ.
ලෝක බල අරගලය මේ විදියට ක්‍රියාත්මක වෙද්දි අපිට අපේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා වඩ වඩාත් කල්පනාකාරීව වැඩ කරන්නට සිද්ධ වෙනවා. ඒ අනුව තව දුරටත් අපි සාම්ප්‍රදායික ලෝක බල කඳවුරුවල සක්මන් නොකර වඩා නිදහස් ප්‍රවේශයකින් ලෝකයේ අනෙක් රටවල් සමඟ කටයුතු කිරීමට පෙළඹිය යුතුයි.
තවත් කරුණක්. අපේ ඇතැම් ඊනියා දේශපාලන විශ්ලේෂකයන් නොයෙන් වර කියනවා ලෝක බලවතුන්ට ලංකාව වගේ නොවැදගත් පුංචි දූපතක් දිහා බල බල ඉන්න වෙලාවක් නෑ, ඒ නිසා විදේශ අත පෙවීම්/ විදේශ කුමන්ත්‍රණ වගේ දේවල් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිතලු කියලා. ශාන්ත මාර්ටින් වගේ වර්ග කිලෝමීටර් 3 ක පුංචි දූපතක් ගැනත් ඉතා අවධානෙන් ඉන්න ලෝක බලවතුන්ට ඇත්තටම ලංකාව ඊට වඩා කොච්චර වැදගත් මර්මස්ථානයක් ද කියන එක ඒ ඊනියා විචාරකයන් අවබෝධ කරගත යුතුයි.
අවසාන වශයෙන් බංග්ලාදේශ ජනතාවට අපි සාමය ප්‍රාර්ථනා කළ යුතුයි. බංග්ලාදේශයේ තත්ත්වය එන්න එන්නම අයහපත් අතකට පෙරළෙමින් තියනවා. ‘ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකියි’ වගේ විපරීත අදහස් දරණ අරාජිකවාදීන්ට පමණයි එවැනි තත්ත්වයක් ගැන සතුට පළ කළ හැක්කේ. බංග්ලාදේශයේ රාජ්‍ය ධනය වැඩිකරගන්න ෂෙයික් හසීනාගේ පාලනයට හැකි වුණා. නමුත් රාජ්‍ය ධනය ඉහළ දැමීම තුළ පමණක් රටවැසියා තෘප්තිමත් වෙලා නැහැ. ලංකාව නගා සිටුවීම සඳහා බංග්ලාදේශයෙනුත් ආදර්ශ ලබා ගත හැකි බවට පසු ගිය කාලෙ රැල්ලට ෆේස්බුක් පෝස්ට් පළ වුණු බව මතකයි.
තෘප්තිමත් නොවන ජනතාවක් ඕනෑම මොහොතක ඕනෑම රැල්ලක් යටතේ රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා වුවත් පාවිච්චි කළ හැකියි. අපේ රට අනාගතයේදී නැවත අරාජිකවාදීන්ගේ කෙළිබිමක් බවට පත්නොවීමට නම් අප සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යය වනුයේ ජන මනස තෘප්තිමත් කිරීමයි. ඒ සඳහා ආර්ථික සමෘද්ධිය වගේම ආධ්‍යාත්මික සමෘද්ධියත් ඉතා වැදගත්.