චීන රජය විසින් රට වැසියන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පිරිමින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට අවුරුදු 63 දක්වාත්, සුදු කරපටි රැකියාවල නියුතු කාන්තාවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 55 සිට 58 දක්වාත්, නිල් කරපටි රැකියාවල නියුතු කාන්තාවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 50 සිට 55 දක්වාත් වැඩි කිරීමට මෙහිදී තීරණය කර ඇත.
මෙම විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමේ තීරණය එළැඹෙන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට චීන රජය තීරණය කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගෝලීය වශයෙන් පහළම විශ්රමයාමේ වයස් සීමාවක් පවතින රටවල් අතර චීනය සිටින එම තත්ත්වය මේවන විට එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව ඇත. චීනයේ ආයු අපේක්ෂාව 1960 දී අවුරුදු 44 ක සීමාවක පැවතියද එය 2021 වන විට අවුරුදු 78 දක්වා ඉහළ ගොස් ඇති අතර 2050 වන විට වසර 80 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මෙම තත්ත්වය අනුව චීනයේ වයස්ගත ජනගහනය සීඝ්රයෙන් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින අතර මේවන විට එරට දරු උපත් අනුපාතයද සීඝ්රයෙන් පහළ යාමත් සමඟ ශ්‍රම බලකාය පහළ යාමේ දැඩි අවධානමක් නිර්මාණය වී ඇත.
ඒ අනුව එම තත්ත්වය මැඩ පැවැත්වීමටත් ඉහළ යන විශ්‍රම වැටුප් ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙලෙස විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.