ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව පවත්වන ලද මංගල කැබිනට් රැස්වීම ඊයේ (30) රැස්විය.
මෙරට දේශපාලන ඉතිහාසයේ අවම අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත මෙවර කැබිනට්ටුවේ මුළු සාමාජිකයන් ගණන තිදෙනෙකි.
ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ද සෙසු කැබිනට් අමාත්‍යවරුන් ලෙස, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙවර ගන්නා ලද කැබිනට් තීන්දු පහත පරිදි වේ.
2024 මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීම
- අංක 2403/13 හා 2024-09-24 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ 09 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇති අතර, 2024-11-14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරනු ලැබ තිබේ. එහෙත්, 2024 අයවැය ඇස්තමේන්තු තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැත. එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ අරමුදලින් අරමුදල් නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාව මඟින් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 වර්ෂය වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක් නිකුත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී. එමෙන්ම, මහ මැතිවරණය පැවැත්වීමට අදාළව 2025 වර්ෂයේදී නිරවුල් කළ යුතු වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 06ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කර දීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම
- ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්යමණ්ඩල, කාර්යාල උපකරණ හා ආරක්ෂක නිලධාරින් ආදී විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දී ඇත. එකී හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දීම සඳහා මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන අතර, වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීම පිණිස, යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක්, මාස දෙකක් (02) තුළ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් සංයුතියෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
-
කේ.ටී.චිත්රසිරි මැතිතුමා – (සභාපති)
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු -
ඩී.දිසානායක මහතා
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් -
ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති
අක්මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීම
- ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් නිදහස් කිරීමේදී එවැනි වියදම්වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එහෙත්, තවදුරටත් අක්මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනමක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇති බැවින්, මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක්මුදල් නිදහස් කිරීම පිණිස මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම සඳහා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කිරීම
- ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි.එස්.එච්.ජේ.ඉලුක්පිටිය මහතා 2024-09-25 දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින්, එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස වහාම සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇත. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි බී.එම්.ඩී.නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් පත් කිරීම
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්යමණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපතිතුමා වෙත බලතල හිමිවී ඇත. ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලන්ගමුව මහතා (ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක) ලෙස සහ ආචාර්ය ඒ.ඒ.ජේ.ප්‍රනාන්දු මහතා (ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක) ලෙස ගරු සේවා පදනම මත පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම
- රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් එකී තනතුර මේ වන විට පුරප්පාඩු වී තිබේ. එබැවින්, දැනට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක
- අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.