මැදපෙරදිග යුද වාතාවරණයත් සමඟ ශ්‍රී ලංකාවත් යම් තර්ජනයන් ඇතිවේ යැයි සැකයක් පැවති බැවින් බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් කල්තියා ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි බැවින් විදේශිකයන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ගැන මුල්ම බුද්ධි තොරතුරු ලැබුනේ පසුගිය 07 වෙනිදා බවත් එම බුද්ධි තොරතුරු තහවුරුකිරීමෙන් අනතුරුව තානාපති අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ගැටළුවක් නොමැති බවද වැඩ බලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.
පොලිස්පතිවරයා මේ බව සඳහන්කරනු ලැබුවේ පොලොන්නරුව පොලිස් අධිකාරී කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදීය.
වැඩ බලන පොලිස්පතිවරයාමෙසේද පැවසුවේය.
“මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම ත්‍රස්තවාදී කටයුතු විවිධ පාර්ශ්වවලට ව්‍යාප්ත වෙලා තිබුණා. ශ්‍රී ලංකාවටත් යම් තර්ජනයක් ඇතිවේ යැයි සැකයක් ඇතිවුණු නිසා බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ඉතා හොඳින් ආවේක්ෂණ රාජකාරී කළා. ඔක්තෝබර් 07 වන විට ඒ සම්බන්ධයෙන් අපිට බුද්ධි තොරතුරු ලැබුණා.”
“යම්කිසි විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා මීට සති 3කට පෙර පටන් ජානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් උපදෙස් ලැබුණා.”
“උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව, එම ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, එස්.ටී.එෆ්, බුද්ධි නිලධාරීන් ආරක්ෂාව සැලසුවා.”
“මෙම ආරක්ෂක කටයුතු 22 දා සිට විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් දියත් කළා. ඊට හේතුව ඒ තොරතුර නිශ්චිතව ලැබීම.”
“අද පෙරවරුවේත් ආරක්ෂක කවුන්සිලය රැස්වුණා. ආරක්ෂක ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් එහිදීත් සාකච්ඡා කළා. එහිදීත් ලැබුණු තොරතුරු අනුව විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල අපි දැනුවත් කළා.”
“දේශීය වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් මේ වනවිට නිරීක්ෂණය වන්නේ නැහැ. නමුත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසියම් ත්‍රස්තවාදී තර්ජනයක්, වෙනස්වීමක්, තොරතුරක්, පුද්ගලයෙක් සම්බන්ධයෙන්, ප්‍රහාරයක් ගැන වාර්තා වුණොත් වහාම පොලීසියට දැනුම්දෙන්න. ඒ වගේම1997 කෙටි අංකය යටතේ ඕනෑම වෙලාවක දැනුම්දීමක් කරන්න පුළුවන්.”
“දැනට ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. වැටලීම්, සෝදිසි කිරීම් ක්‍රියාත්මකයි. නමුත් සැකකටයුතු පුද්ගලයෙක් හෝ දේපොළක් හමු වුණේ නැහැ.”
“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විදේශික ජාතිකයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා. ඒක ලෝකයේ අනෙක් රටවලටත් පොදුයි. කෙසේනමුත් අපි එසේ නොවෙන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා.”
“ගුවන්තොටුපොළේ සහ එම පිවිසුම් මාර්ගවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක වෙනවා.”