ප්‍රමුඛතම පාසල් නියෝජනය කරන අවුරුදු 16 පහළ පළමු කොටසේ රග්බි තරගාවලියට අවසර දුන් අධ්‍යාපන අමාත්‍යාංශය හෙට (02) දින කුරුණෑගල දී ආරම්භවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන එහි දෙවැනි කොටසේ (අගමැති හා සභාපති) තරගාවලිය සඳහා අවසර දී නැත.
දින 14කට පෙර අදාළ තරගාවලිය සඳහා අවසර ඉල්ලා පාසල් රග්බි සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකයට ලිපියක් යොමු කළද ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත. මේ තත්ත්වය හේතුවෙන් එකම වයස් කාණ්ඩායමක ක්‍රීඩාකරන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දෙආකාරයකට ක්‍රියාත්මක වීමේ කැකිල්ලේ තීන්දුවක් ගෙන තිබේ.
මේ නිසා අදාළ තරගාවලියට සූදානමින් සිටි කණ්ඩායම්වල දරුවන් මානසික ඇදවැටී ඇති අතර රග්බි ක්‍රීඩාවට යොමුවීමේ ද මන්දෝත්සාහී බවක් ඇති කිරීමට හේතුවක් වී තිබේ. මෙම තරගාවලියට සූදානමින් සිටින බොහෝ දරුවන් මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වන අතර, විභාගයට පෙර මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට තිබු බලාපොරොත්තුව බිඳවැටීම තුළ දරුවන් පීඩාවන් රැසකට මුහුණ දී ඇතැයි පාසල් රග්බි සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
02 වැනිදා සහ 03 වැනිදා කුරුණෑගල මලියදේව හා ශාන්ත ආනා ක්‍රීඩාංගණවල මෙම තරගය පැවැත්වීමට සූදානමින් තිබුණ ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ලැබෙනතුරු පාසල් රග්බි සංගමය අදාළ තරගාවලිය දින නියමයක් නැතිව කල්දමා තිබේ.
කෙසේ වෙතත් මෙම තරගාවලියේ පළමු කොටසේ තරග පසුගිය 26 හා 27 දෙදින මහනුවර දි පැවැත්විණි. එම තරගාවලියට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබා දී ඇත්තේ 26 වැනිදා අලුයම බව දැනගන්නට තිබේ. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසල් රග්බි සංගමය අතර මෙම කඹ ඇදිල්ලට හේතුව රුපියල් ලක්ෂ පහක අනුග්‍රාහක මුදලක් සම්බන්ධ පටලැවිල්ලක් බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 5ක අනුග්‍රාහක මුදලක් පාසල් රග්බි සංගමයෙන් ඉල්ලා ඇති අතර අදාළ මුදල ලබාදීමට පාසල් රග්බි සංගමය තීරණය කර තිබියදී මෙම ගැටලුව උද්ගත වී තිබේ. ඊට හේතු වී ඇත්තේ අදාළ මුදල පිරිනැමීම සඳහා රුපියල් ලක්ෂ 5ට අදාළව බිල්පත් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීමයි.
විගණන කටයුතු විදිමත් කිරීමට කළ මෙම ඉල්ලීමට උරණ වූ අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා ඒකකය පසුගිය 26 හා 27 පැවති පළමු කොටසේ තරගාවලියේ විගණනයක් පිළිගත් විගණන ආයතනයක් ඔස්සේ ඉදිරිපත් කරන ලෙස පාසල් රග්බි සංගමයට දන්වා තිබේ.
මෙම තත්ත්වය මත නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට තිබූ අවස්ථාව අහිමි කරමින් මෙම තරගාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමේ කටයුත්තක් සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධව වගකිවයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්යක්ෂතුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා හෝ අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වි කිසියම් තීරණයක් නොගන්නේ නම් රග්බි ක්රිඩාකරන ප්‍රමුඛතම පාසල්වල දරුවන්ට විශේෂත්වයක් කොට අනෙකුත් පාසල්වලට දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කුඩම්මාගේ සැළකිල්ලක් ලැබුණු බවට වන අපවාදයෙන් මිදිය නොහැකි වනු ඇතැයි පසල් රග්බි පුහුණුකරුවෙක් ‘නිවුස්වේව්’ කළ විමසීමේ දී පැවසීය.