fbpx
තවත්
    මුල් පිටුවspecialඊශ්‍රායලයේ 'අයන් ඩෝම්' වෙනුවට එන 'අයන් බීම්'

    ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ වෙනුවට එන ‘අයන් බීම්’

    ගාසා තීරයේ සටන් අඛණ්ඩව වර්ධනය වීමත් සමඟ ඊශ්‍රායලය විසින් සිය නවතම ගුවන් ආරක්ෂණ පද්ධතිය වන ලේසර් කඳම්භ යොදා ගනිමින් සතුරු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට හැකියාව පවතින අයන් බීම් ආරක්ෂණ පද්ධතිය යොදා ගැනීම තීරණය කරනු ලැබ තිබේ.
    ඒ අනුව වසරක කාලය තුලදී මෙම ආරක්ෂණ පද්ධතිය පූර්ණ වශයෙන් ඊශ්‍රායලය තුල ස්ථාපිත කිරීමට නියමිත අතර ඊට අදාලව ගිවිසුම්ගත වීමට ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයකට අධික මුදලක ඊශ්‍රායල රජය වැයකර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මෙම නව ගුවන් ආරක්ෂණ පද්ධතියද මේවන විටත් ඊශ්‍රයාලය විසින් අති සාර්ථකව භාවිතා කරනු ලබන අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය නිර්මණය කළ රෆායෙල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම් සහ එල්බිට් සිස්ටම්ස් විසින් නිෂ්පාදනය කරනු ලබයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කර සිටියේ මෙම ගුවන් ආරක්ෂණ පද්ධතිය නව යුගයක් ආරම්භ කරනු ඇති බවයි.
    එමෙන්ම මෙම ආරක්ෂණ පද්ධතිය වසරක කාලයක් තුල ස්ථාපනය කර අවසන් කිරීමට හැකියාව පවතිනු ඇති බවටද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

    අයන් බීම් ආරක්ෂණ පද්ධතිය මෙතෙක් ඊශ්‍රායලය සතු වූ ගුවන් ආරක්ෂණ පද්ධතියට සාපෙක්ෂව සුවිශේෂී මුහුණුවරක් ගෙන ඇත.

    ඒ අනුව භූමියේ ස්ථාන ගත කර ඇති මෙම ආරක්ෂණ පද්ධතිය අති නවීන රේඩාර් පද්ධතියක් මගින් සතුරන් විසින් එල්ල කරනු ලබන මිසයිල, රොකට් හෝ ඩ්‍රෝන හඳුනාගැනීම සිදුකරයි. පසුව එම හඳුනාගත් සතුරු ප්‍රහාර වෙත අධි බලැති ලෙසර් කදම්භ යොමු කරන අතර එම කදම්භ මිසයිල හා රොකට් අධික ලෙස රත්කිරීමෙන් ගුවනේදීම පුපුරුවා හැරීම සිදුකරයි. එමෙන්ම ඩ්‍රෝන යානා වල යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය අඩපන කරමින් ඩ්‍රෝන යානාද ගුවනේදීම විනාශ කිරීමේ හැකියාව අයන්බීම් සතුවේ.
    මෙම ක්‍රමය මෙතෙක් ඊශ්‍රයාලය තම ගුවන් කලාපය වෙත එල්ල වන සතුරු ප්‍රහාර වැලැක්වීමට යොදා ගත් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වේ.
    එහෙත් මේවන විට පවතින ආරක්ෂණ පද්ධතිය මගින් සිදුවූයේ අධි තාක්ෂණික රේඩාර් පද්ධති මගින් සතුරු ප්‍රහාරය හඳුනාගගෙන ඉන් අනතුරුව අයන්ඩෝම් පද්ධතිය මගින් මිසයිල නිකුත් කර සතුරු රොකට්, මිසයිල හෝ ඩ්‍රෝන ගුවනේදීම විනාශ කිරීමයි.
    කෙසේවෙතත් අයන් ඩෝම් සමඟ සසඳන විට අයන් බීම් වඩා ලාභදායී සහ වේගතවත් මෙන්ම ඵලදායී වනු ඇති බවට විශේසඥයින් විශ්වාසය පළකරනු ලබයි.
    ප්‍රවීනයන්ට අනුව අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය මගින් එක් සතු ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට එල්ල කරනු ලබන එක් මිසයිලක වටිනාකම ඇමරිකානු ඩොලර් පනස් දහසක් පමණ වන අතර එක් ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට මෙවැනි මිසයිල දෙකක එල්ල කිරීමට සිදුවේ.
    ඒ අනුව එක් සතුරු ප්‍රහාරයක් වැලැක්වීමට ඊශ්‍රායල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් වැය කරනු ලබන අතර ඊශ්‍රයලයට සිය උතුරු අසල්වැසියා වන ලෙබනනෙ සමඟ ගැටුම් ආරම්භ කළ දින සිට දිනපතාම ගුවන් ආරක්ෂණ පද්ධති භාවිතා කිරීමට සිදුව ඇති අතර ඉකුත් අඟහරුවාදා පමණක් ගුවන් ප්‍රහාර 50ක් පමණ මැඩපැවැත්වීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබිණි.
    මේ අතර අයන් බීම් නිෂ්පාදනය කිරීම සිදුකරනු ලබන රෆායෙල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම්ස් සමාගම පැවසුවේ අයන් බීම හට ගුවන් ප්‍රහාරයක් වැලැක්වීමට කිසිඳු මුදලක් වැය කිරීමට සිදුනොවන බවයි. එමෙන්ම 2022 වර්ෂයේදී ඊශ්‍රායලයේ හිටපු අගමැති නෆ්තාලි බෙනට් පැවසුවේ අයන් බීම් ආරක්ෂණ පද්ධතිය යොදාගනිමින් එක් සතුරු ප්‍රහාරයක් වැලැක්වීමට ගතවනුයේ ඇමරිකානු ඩොලර් 2 ක් පමණක් බවයි.

    මේ අතර අයන් බීම් ආරක්ෂණ පද්ධතිය ඩ්‍රෝන ප්‍රහාර වැලැක්වීම ඉතා සාර්ථක වනු ඇති බවට විශේසඥයින් විශ්වාසය පළකර ඇති අතර දැනට භාවිතා වන අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය ඩ්‍රෝන ප්‍රහාර වැලැක්වීමට තරමක් අසාර්ථක වී ඇති ආකරයට දිගින් දිගමට නිරීක්ෂණය වි තිබේ.

    කෙසේ වෙතත්, ඊශ්‍රායලය දැනට භාවිතා කරනු ලබන අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය මූලික වශයෙන්ම රොකට් සහ මිසයිල ප්‍රහාර වැලැක්වීමට යොදා ගැනීම සිදුකරනු ලබන අතර නියමුවන් රහිත ගුවන් යානා සහ සැහැල්ලු ගුවන් යානා වැනි රේඩාර් පද්ධතියට පහසුවෙන් හසුනොවන සතුරු ප්‍රහාර වැලැක්වීම අයන්ඩෝම් ඇතැම් අවස්ථාවලදී අසාර්ථක වී ඇති බවටද විශේසඥයින් පෙන්වාදෙයි.
    ඒ අනුව ඩ්‍රෝන ප්‍රහාර වැලැක්වීමට ලේසර් තාක්ෂණය වඩා ඵලදායී වනු ඇති බවටද ප්‍රවිනයින් සිය විශ්වාසය පළකර ඇත.

    කෙසේ වෙතත් මෙම අයන් බීම් පද්ධතියේද යම් දුර්වලතා නිරීක්ෂණය වී ඇත. එහි වූ ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ වලාකුළු සහිත, වැසි සහිත හෝ මීදුම සහිත කාලගුණය තුළ ලේසර් පද්ධතිය හොඳින් ක්‍රියා නොකිරීමයි. එවැනි අවස්ථාවලදී ලේසර් කිරණ නිසි පරිදි ඉලක්කය වෙත ගමන් නොකරන බැවින් සතුරු ප්‍රහාර වැලැක්වීමේ සාර්ථක බව පහත හෙලන බවද යුධ විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img