ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 28ක් සමග වැලිගම මිරිස්සේ පිහිටි හෝටලයක ගණකාධිකාරීවරයාව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල හිරගෙදර පාරේ පදිංචිකරුවෙක් වන හැටපස් හැවිරිදි මෙම ගණකාධිකාරීවරයා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ හෝටලයේ ප්‍රධානියෙක් විසිනි.
මෙම හෝටලය සංචාරක හෝටලයකි. මෙහි සංචාරයේ පැමිණෙන විදේශිකයන්ගෙන් ලැබෙන අමෙරිකානු ඩොලර් නෝට්ටු හෝටලය තුළ ඇති සේප්පුවක තැන්පත් කර තැබෙන්නේ මෙම ඝණකාධිකාරීවරයාගේ අධීක්ෂණය ඇතිවය. එම නෝට්ටු පසුගිය දිනක කොළඹට රැගෙන ගොස් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කිරීමට යාමේදී ඒ තුළ තිබූ ඇමෙරිකානු ඩොලර් සීය නෝට්ටු 28 හමුවී තිබේ. එම නෝට්ටු එක ළඟ එක හා එකම කාණ්ඩයකට අයත් අංක සහිත නෝට්ටු බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
මෙතරම් ඩොලර් නෝට්ටු තොගයක් තනි විදේශයකයකුගෙන් හෝටලේට ලැබී නැති බව හෝටල් හිමිකරු විසින් කළ සොයා බැලීමකදී පෙනී ගොස් ඇත. එබැවින් ඔහු ඒ ගැන සැක කර ඇත්තේ හෝටලයේ ඝනකාධිකාරීවරයාවය.
ඒ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් නෝට්ටු 28 සමග එම ගනකාධිකාරීවරයා පසුගිය අටවෙනිදා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවය. මෙම නෝට්ටු විදේශිකයෙකු හරහා ලැබී ඇති බවද ඔහු පොලිසියට පවසා ඇත. එහෙත් එතරම් නෝට්ටු තොගයක් මෙම හෝටලයට විදේශිකයකු මගිිින් ලැබී නැති බව පෙනී ගිය බැවින් මෙම නෝට්ටු ඔහු විසින් සේප්පුවට දමා වෙනත් නෝට්ටු සමග හුවමාරු කර ඇති බව පොලිසිය සැක කරයි. එබැවින් මෙම ගණකාධිකාරිවරයාගේ නිවසද පොලිසිය පරීක්ෂා කර තිබේ.. එහෙත් සැකකටයුතු කිසිවක් එහි තිබී හමුවී නැත.
මෙම පුද්ගලයාට ව්‍යාජ ඩොලර් නෝට්ටු විදේශකයෙකුගෙන් ලැබෙන බවට සැකයක් පවතින බව පොලිසිය කියයි. එබැවින් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබේ.
මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් සහ අධීක්ෂණයෙන් වැටලීම සිදු කර ඇත්තේ උප පොලිස් පරීක්ෂක මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.