fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුවේ බහුතර බලය මාලිමාවට

    පාර්ලිමේන්තුවේ බහුතර බලය මාලිමාවට

    Update:
    ඒ ඒ පක්ෂ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදී ගිය ආකාරය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.


    ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ සරල බහුතරය අභිබවා යමින්, පරම බහුතරයට ආසන්න ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ජාතික ජනබලවේගය මහමැතිවරණයෙන් ආසන 141ක් ජයග්‍රහණය කර තිබේ.

    ඒ ඡන්ද 6,863,186ක් ලබාගනිමිනි.

    සමස්ත දිවයිනේම නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර ඒ ඒ අපේක්ෂකයා ලබාගත් මනාප ප්‍රතිඵල තවදුරටත් නිකුත් වෙමින් පවතී.

    දෙවැනි වැඩිම ඡන්ද ලබාගෙන ඇත්තේ ආසන 35ක් දිනාගනිමින් 1,968,716 ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සමගි ජනබලවේගයයි.

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආසන 7ක් හිමිකරගෙන ඇති අතර හිටපු ජනපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 3ක් හිමිකරගෙන ඇත.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනපති ධුරයට පත්කළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට නිල ඡන්දවලින් මෙවර ලැබී ඇත්තේ ආසන 2ක් පමණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආසන 2ක් හිමිකරගෙන තිබේ.

    සෙසු පක්ෂ කිහිපයක් ආසන එක බැගින් දිනාගෙන ඇත.

    පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගනු ලබන්නේ, මහජන ඡන්දයෙනි.

    ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් සම්පූර්ණ කෙරේ. දේශපාලන පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේ, දිස්ත්‍රික් පදනමින් නොව, සමස්ත දිවයින තුළින්ම ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍ර‍මාණය මත පදනම්ව ය.

    දේශපාලන පක්ෂයක් සිය ජාතික ලැයිස්තු සාමාජිකයින් ඡන්දයට පෙර නම් කොට තිබිය යුතු අතර අදාළ පත්කිරීම් එම ලැයිස්තුව පදනම්ව සිදු කෙරේ.

    පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීම සඳහා ආසන 113ක් හිමි කර ගත යුතු වන අතර එය ‘සරල බහුතරය’ යනුවෙන් හඳුන්වයි.

    ‘පරම බහුතරය’ නැතහොත් තුනෙන් දෙකක බලය ලබාගැනීමට නම් පාර්ලිමේන්තුවේ ආසන 225 න් ආසන තුනෙන් දෙකක බලය එනම් 150ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගත යුතු ය.

    පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කරගැනීම සරල බහුතර බලය තිබීමෙන් ද සිදුකළ හැකි ය.

    නමුත් ව්‍යවස්ථාවට අදාළ අණ පනත් හෝ සංශෝධන ගෙන ඒමේදී තුනෙන් දෙකක බහුතර බලයක් තිබීම ආණ්ඩුවකට වැදගත් වේ.

    එහෙත් එය අසීමිත බලයක් වීම නිසාත් මීට පෙර මෙරට පෙර පැවති ආණ්ඩු එය භාවිත කළ ආකාරය නිසාත් බොහෝ පාර්ශව තුනෙන් දෙකක බහුතර බලය ආණ්ඩුවකට හිමිවීම පිළිබඳ චකිතයක් පවතී.

    ඒ, එය හරවත් කාර්යයන්ට වඩා සෘණාත්මක දෑ සඳහා උපයෝගී කරගත් බවට ඉතිහාසය සාක්ෂි දැරීම ඊට හේතුවයි.

    රජයක් මගින් අණ පනත් අලුතින් හඳුන්වා දීමේ දී ඒවා ගැසට් කරනු ලබන අතර අනතුරුව සති දෙකක් තුළ එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට හෝ අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට හැකි අවස්ථාව ලබාදේ.

    එහිදී අදාළ අණපනත් සරල බහුතරයකින් සම්මත විය යුතුද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු ද, නැතහොත් ජනමත විචාරයකින් සම්මත කර ගත යුතු ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබයි.

    එම නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය අදාළ සම්මත ක්‍රියාපටිපාටිය ඔස්සේ සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මහජන ඡන්දයෙන් දිනාගත් ආසන, ජාතික ලැයිස්තුවෙන් ලද ආසන බෙදී ගිය ආකාරය සහ ඒ ඒ පක්ෂ විසින් ලබාගත් සමස්ත ආසන සංඛ්‍යාව පහතින් දැක්වේ.

    results_0210-PE1-N

     

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img