“Labour Migrants from South Asia: Issues and Concerns” මැයෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීම පසුගිය (නොවැ 12) දින කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
බිම්ස්ටෙක් සංවිධානයේ හිටපු ලේකම් සුමිත් නාකන්දල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවයට බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජේසිංහ මෙනවිය ද, ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වූවාය.
කලාපීය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් දකුණු ආසියාවේ ශ්‍රම සංක්‍රමණ ගැටළු පිළිබඳව මෙම වසර මුලදී පවත්වන ලද සම්මන්ත්‍රණයකින් උකහා ගන්නා ලද දැනුම, ප්‍රතිපත්ති සහ නිර්දේශ මත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
Consortium of South Asian Think Tanks (COSATT) ආයතනයෙහි අධ්යක්ෂ ආචාර්ය Nishchal N. Pandey ගේ මූලික සංකල්පයකට අනුව, COSATT ආයතනය, Konrad Adenauer Stiftung (KAS) සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සහයෝගීත්වයෙන් මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සාමාජිකයන්, COSATT සහ KAS යන ආයතනවල සාමාජිකයින් කැපවී කටයුතු කළහ.
මෙම ග්‍රන්ථය, 2024 අප්‍රේල් 23 වන දින Bangladesh Institute of International and Strategic Studies (BIISS) විසින් COSATT සහ KAS යන ආයතන සමඟ සහයෝගයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල අළලා සකස් කොට ඇත.
ඒ ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්යක්ෂ (පර්යේෂණ) මෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් විසින් ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය, එහි ආර්ථික ශක්‍යතා සහ එමගින් ඉදිරිපත් කරන සමාජ අභියෝග හා සබැඳි කරුණු රාශියක් ඉස්මතු කොට ඇත.
අභිනවයෙන් එළිදක්වන ලද මෙම ග්‍රන්ථය, දකුණු ආසියානු විද්වතුන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සාමූහික ප්‍රවීණත්වය පිළිබිඹු කරමින් ගැඹුරු විශ්ලේෂණයක් හා ප්‍රතිපත්ති මාර්ගෝපදේශනයක් පාඨකයා වෙත ඉදිරිපත් කරයි. මෙම ප්රකාශනය තුලින් ආරක්ෂිත සහ සාධාරණ ශ්‍රම සංක්‍රමණ පිළිවෙත් සහතික කිරීම සඳහා අඛණ්ඩ කලාපීය සංවාදයක් සහ සහයෝගීතාවක අවශ්‍යතාව පෝෂණය කිරීමට ද, අදහස් කරනු ලබයි.
ශ්‍රම සංක්‍රමණිකයින්ගෙන් ජාතික සහ ගෝලීය ආර්ථිකයට දක්වනු ලබන දායකත්වය, ගෝලීයමය වශයෙන් වන ශ්‍රම ගැටළු නිරාකරණය කිරීම, රැකියා අවස්ථා ඇති කිරීම, ගෝලීය සහ ජාතික මට්ටමින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම කෙරෙහි සංක්‍රමණිකයන්ගේ දායකත්වය කුමක්ද, යන්න අවබෝධ කර ගැනීම සඳහා රචනා කරන ලද ග්‍රන්ථයෙන් උපුටාගත් වැදගත් කරුණු රාශියක් සාකච්ඡාව අතරතුර ඉස්මතු කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දකුණු ආසියාතික රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයන්, කීර්තිමත් විද්වතුන් සහ සිවිල් සමාජ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.