fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ටෙලි නළුවාගේ පුතාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියාට වූ දේ

    ටෙලි නළුවාගේ පුතාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියාට වූ දේ

    ඩුබායි හී රැදී සිටින ටෙලි නළු පුතෙකුගේ මත්කුඩු ජාවරමකට සම්බන්ධ වෙමින් රුපියල් කෝටි හතකට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහක් ජාවාරම් කිරීමට ආධාර හා අනුබල ලබාදීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇත්තේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී සහ ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකදීය.

    දකුණේ පදිංචිකරුවකු වන පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ සහෝදරයා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කැඳවා විටින් විට ප්‍රශ්න කර ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම පොලිස් කොස්තාපල්වරයාගේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇත්තේ මෙයට මාසයකට පමණ පෙරය. විමර්ශනයේදී හෙළි වී ඇති ආකාරයට අනුව ඔහුගේ පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ බැංකු ගිණුම් වල උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක මුදලක් ඇති බවද පෙනී ගොස් තිබේ. මේ හැරුණු කොට උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි විශාල දේපල ප්‍රමාණයක් ඇතැයිද පෙනී ගොස් තිබේ.

    මෙම පොලිස් නිලධාරියා ඇතුළු ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් රැසක් මත්කුඩු ජාවාරම්කරුවන් සමග එක්ව කටයුතු කරන බවත් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු නැවත ජාවාරම්කරුවන් අතර පත්කරන බවත් පොලිස්බු ද්ධි අංශ දිගින් දිගටම පසුගිය කාලයේ බලධාරීන් දැනුවත් කර තිබී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නිලධාරියා ඇතුළු නිලධාරීන් රැසක් වෙනත් ස්ථානවලට මාරු කර යැවීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදිනය මහතා ගල්කිස්ස කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී පියවර ගෙන තිබුණි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු ලැබ ගිය පසු නැවතත් එම දූෂිත නිලධාරීන් ඔවුන් සිටි ස්ථානවල සේවයටම ගොස් තිබුණූ බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙම පොලිස් කොස්තාපල්වරයාත් එසේ මාරුකර යැවීමෙන් පසු නැවත පෙර සිටි ස්ථානයටම සේවයට පැමිණි නිලධාරියක් බව සඳහන්ය.

    මෑතකදී ගෙවල් බිඳුම් හා සොරකම් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් දෙහිවල පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් වන ඔහු සම්බන්ධයෙන්ද බුද්ධි වාර්තා රැසක් තිබී ඇත.

    පිළියන්දල පොලිසිය ද අයත් වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයටයි. පිළියන්දල පොලිස් ස්ථානයේ තිබුණු අධිකරණ කටයුත්තක නඩු භාණ්ඩයක් වන යතුරුපැදියක් සොරාගත් උපපොලිස් පරිසකවරයා සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ බුද්ධි තොරතුරු තිබී ඇත. විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පුතෙක් වන එම උප පොලිස් පරිසකවරයා දූෂිත ක්‍රියාවල නිරත වන්නේ බව බුද්ධි අංශ විසින් දිගින් දිගටම වාර්තා කර තිබියදීත් ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් අදාළ පොලිස් බලධාරීන් මුලින් ගෙන තිබූ නැති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඉතා කෙටි කලක් තුළ ධනවතුන් වූ සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වන ගල්කිස්ස කොට්ඨාසය පොලිස් නිලධරීන් රැසක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අතර ගල්කිස්සේ හිටපු පොලිස් ප්‍රධානියෙකුට පාතාලේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු මෝටර් රථයක් තෑගි කිරීමත් සම්බන්ධයෙන් සහ එම මෝටර් රථය එම නිලධාරියා විසින් සිය සුරතලිය ලෙස තබාගත් පොලිස් නිලධාරිනියකට පරිහරණය කිරීමට ලබාදීමත් සම්බන්ධයෙන් ද බුද්ධි තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img