සිය පුතා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාදයක් අහිමි පියෙකු බියගන්වා රුපියල් 3300ක මුදලක් බලහත්කාරයෙන් අල්ලස් ලෙස ලබාගත් සංගුපිටිය මාර්ග බාධකයේ සේවයේ නිරත පොලිස් සැරයන් වරයෙකු පුනරින් පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ධර්මපුරම් හි පදිංචි 49 වන වියේ පසුවන වෙළඳාම සිය ජීවනෝපාය කරගත් ආබාධිත පුද්ගලයෙකු සිය දාහතර හැවිරිදි පුතා සමග යාපනයට ගොස් යතුරුපැදියකින් නැවත නිවස බලා යමින් සිටියදී සංගුපිටිය මාර්ග බාධකයේදී පොලිස් පරීක්ෂාවට ලක්ව ඇත.
මෙම වෙළෙන්දාගේ එක් පාදයක් දණහිසෙන් අහිමිව තිබෙන අතර බොරු කකුලක් ඒ වෙනුවෙන් යොදා තිබේ. පාදයක් අහිමි පුද්ගලයෙකු නිසි බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවනය කිරීමට අවසර නැති බව එම ස්ථානයේ සිටි පොලිස් සැරයන්වරයකු පවසමින් නීති මගින් කටයුතු නොකර සිටීමට නම් රුපියල් 5000ක් වත් අවශ්‍ය බව කියමින් මෙම ආබාධිත වෙළෙන්දා සතුව තිබූ 5000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇත.
තමා සතුව ඒ වන විට ඇත්තේ රුපියල් පන්දහම පමණක් යැයි පවසමින් තමාගේ මවට නිවසට යන විට බෙහෙත් රැගෙන යාමට සහ යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට ඇතැයි කී විට පොලිස් සැරයන්වරයා රුපියල් 1700ක මුදලක් ආබාධිත වෙළෙන්දාට ලබා දී තිබේ.
ආබාධිත වෙළෙන්දා සංගුපිටිය පොලිස් මුරපොළ පසුකර මඳක් ඉදිරියට ගමන් කිරීමෙන් පසු තමාට මේ සිදුවූ අකටයුතුකම කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත. එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතා සංගුපිටිය ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි අතුල පෙරේරා මහතාව වහාම එම ස්ථානයට යොමු කර ඇත.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී අතුල පෙරේරා මහතා සංගුපිටිය පොලිස් මාර්ග බාධකය වෙත ගොස් මාර්ග බාධකයේදී පරීක්ෂාවට ලක්වන වාහන හා පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන පොත පරීක්ෂා කරන අවස්ථාවේදී ඒ තුළ තිබී රුපියල් 15720ක මුදලක් සොයාගෙන තිබේ. එම මුදල් මෙම මුරපොලේ සේවයේ නිරතව සිටි කිසිදු නිලධාරියෙක් පොලිස් ස්ථානයේ සිට රාජකාරී සඳහා පැමිණෙන අවස්ථාවේදී රැගෙනවිත් නැති බව අනාවරණය වී ඇත. ඒ අනුව පෙනී ගොස් ඇත්තේ මෙම මුදල් ආබාධිත වෙළෙන්දාගෙන් මෙන්ම තවත් බොහෝ අයගෙන් ලබාගත් ඒවා බවය. ආබාධිත වෙළෙන්දාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ සැරයෙන්වරයා බව වෙළෙන්දාගේ පැමිණිල්ලෙන් සනාථ වන බැවින් සැරයෙන් වරයාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුර පොලේ සේවයේ නිරතව සිට ඇත්තේ සැරයෙන් වරයා සහ තවත් නිලධාරියෙක් පමණි. එම නිලධාරියා සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
සැරයන්දරයාගේ වැඩ තහනම් කිරීමට කිලිනොච්චිය කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතා ඊයේ පියවර ගෙන තිබුණි.