යාපනය චුන්නාකම් හී පිහිටි නිවසකට ගොස් තරුණියක් බිය ගන්වා රුපියල් ලක්ෂ 12ක කප්පමක් ඉල්ලා ඇයට තර්ජනය කර ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් චුන්නාකම් පොලීසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
පලාලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
චුන්නාකම් ඒලාලේ ප්‍රදේශයේ පදිංචි තරුණිය චුන්නාකම් පොලිස් ස්ථානයට පසුගිය දා පැමිණ පැමිණිල්ලක්කර ඇත්තේ 04 වෙනිදා සිය නිවසට පොලීසියෙන් බව කියමින් සිවිල් ඇදුමින් සැරසුණු දෙදෙනෙක් බලහත්කාරයෙන් ඇතුළු වූ බවය.
තමාගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවත් ඔවුන් සතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් පවසමින් තමාව බිය ගන්වා ලිංගික අතවර කරමින් මුදල් ඉල්ලා සිටි බව ඇය පොලීසියට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පොලීසියට පෙනී ගොස් ඇත්තේ සැබෑ ලෙසම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇගේ නිවසට ගොස් ඇති බවය.
මෙම තරුණිය ඇගේ පෙම්වතා සමඟ එකට සිටි වීඩියෝ දර්ශනයක් මෙම නිලධාරීන්ට ලැබී ඇති බවද එම විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඇයට එම වීඩියෝව පෙන්වා බිය ගන්වා මුදල් ලබාගැනීම එම පොලිස් නිලධාරීන්ගේ අරමුණ වී තිබී ඇතැයි විමර්ශනයේදී හෙළිවී තිබේ.
ඒ අනුව මෙම නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවටගත් පොලීසිය මල්ලාකම් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට රැගෙනගොස් තිබුණි.