රුපියල් එක්කෝටි හය ලක්ෂයක මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
අමෙරිකානු ඩොලර් සඳහා වැඩි මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ මෙම චීන ජාතිකයන් විසින් පළකර තිබුණු දැන්වීමකට අනුව කුරුණෑගල පදිංචි කිහිප දෙදෙනෙක් එක්ව වැඩි මුදලක් ලබාගැනීමේ අපේක්ෂාව ඇතිව ඩොලර් එකතුකරගනිමින් එම දැන්වීම පලකර තිබුණු චීන ජාතිකයා සමඟ සම්බන්ධ වී තිබේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් 30,000ක මුදලක් රැගෙන කොල්ලුපිටියද ඔවුන් පැමිණ ඇත්තේ ලොකු ලාභයක් අපේක්ෂාවෙනි.
ඔවුන් සතුව තිබී ඇත්තේ අමෙරිකානු ඩොලර් 5,000 නෝට්ටුය. චීන ජාතිකයන් මෙම ගණුදෙනුව සිදුකර ඇත්තේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක් අසලදීය.
මුලින්ම ඩොලර් 5,000 නෝට්ටු දෙකක් ගෙන පරීක්ෂාකර එම නෝට්ටු ඔවුන් පසුම්බියකට දමා ඇත. රුපියල් 10,600,000ක මුදලක් සහිත බෑගයක් ඩොලර් රැගෙන ආ අය අත තබා තිබේ. අනතුරුව චීන ජාතිකයන් විසින් අමෙරිකානු නෝට්ටු සියල්ල ඔවුන් අතට ගෙන පසුම්බියට දමා ගනිමින් එම ස්ථානයෙන් පළාගොස් ඇත්තේ ඔවුන් විසින් ලබාදුන් රුපියල් 10,600,000ක මුදල ද උදුරාගෙනය.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා චීන ජාතිකයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දුරකථන ජාල පරීක්ෂාවක් සහ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවකින්ද අනතුරුවය.
අත්අඩංගුවටගත් චීන ජාතිකයන් සිව් දෙනා වයස අවුරුදු 49ත් 59ත් අතර පසුවන්නන් බවත් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රැදී සිටින්නන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.