මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික යුවලක් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරයක ඇති සේප්පුවක තැන්පත්කර තිබූ අමෙරිකානු ඩොලර් 3,000ක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හබරාදූව පොලීසිය එම හෝටලයේ කළමනාකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තල්පේ ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය. වයස අවුරුදු 47ක් වන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියානු ජාතික සංචාරකයා විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 11 වෙනිදා සවස 2.00ක් 25 වෙනිදා පෙරවරු 11.00ත් අතර කාලය තුළ බව රුසියානු ජාතිකයා පොලීසියට පවසා තිබේ.
රුසියානුවා සිය බිරිඳත් සමඟ හෝටල් කාමරයෙන් පිටතට ගොස් සිටි කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය කියයි.