මුහුණු ඔස්සේ පලකරනු ලැබූ දැන්වීමකට අනුව මාවනැල්ල කරහම්පිටිගොඩ ඛෙත්තාරම පුරාණ විහාරස්ථානයේ ආගමික කටයුතු සිදුකරමින් විහාරස්ථානයේ වැඩ සිටීමට පැමිණි තරුණ හිමිනමක් පැමිණ සතියක් යන්නට මත්තෙන් විහාරස්ථානයේ ඉහළ මහලේ බුදු කුටියේ තිබුණු රිදියෙන් නිමකරන ලද වසර 150ක් පමණ ඉපැරණි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති මකර තොරණ සොරාගෙන ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය සඳහන් කරයි.
මෙම සොරකම පසුගිය 28 වෙනිදා අලුයම් කාලයේදී සිදුව ඇතැයි පොලීසිය සැකකරන අතර හිත්තැටියේ සමිත නමින් පෙනී සිටි හිමිනමක් විසින් මෙම සොරකම සිදුකර ඇතැයි විහාරාධිපති මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පවසති.
විහාරස්ථානයේ ආගමික කටයුතු සිදුකරමින් විහාරස්ථානය බලාකියාගෙන සිටීම සඳහා හිමිනමකගේ අවශ්‍යතාවක් ඇතිවූ බැවින් තමන් වහන්සේගේ මුහුණු පොත ඔස්සේ ඒ බව සඳහන්කරමින් දැන්වීමක් පලකළ බවත් ඒ අනුව හිත්තැටියේ සමිත නම් වූ මෙම තරුණ හිමිනම තමා හා සම්බන්ධවූ බවත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පැවසූහ. උන්වහන්සේ බියගම විහාරස්ථානයක වැඩ සිටින බව පැවසූ බවත් කථා බහේදී යම් පැහැදීමක් ඇතිවූ බැවින් නායක හිමියන්ගේ ලිපියක්ද රැගෙන පැමිණෙන ලෙස තමා උන්වහන්සේට දැනුම්දුන් බවත් පුඤ්ඤසාර හිමියෝ සඳහන් කළහ.
ඒ අනුව පසුගිය 23 වෙනිදා උන්වහන්සේ පැමිණියත් නායක හිමියන්ගේ ලිපිය නොතිබුණු බවත් පුඤ්ඤසාර හිමියෝ පැවසූහ. එම ලිපිය අත්‍යව්‍ය බව පවසන විට 25 වෙනිදා සිය මව අසනීප තත්ත්වයේ පසුවන බව සඳහන් කරමින් මාතර යන බව කියා විහාරස්ථානයෙන් එම හිමිනම පිටත්ව ගිය බවත් නැවතත් 27 වෙනිදා පාන්දර පැමිණි බවත් පුඤ්ඤසාර හිමියෝ පවසති.
ඒ පැමිණි උන්වහන්සේ 28 වෙනිදා අලුයම් කාලයේදී පැනගොස් ඇත්තේ විහාරස්ථායේ ඉහළ මහලේ බුදු කුටියේ තිබුණු රිදියෙන් නිමකරන ලද ඉපැරණිමකර තොරණ සමඟ පිත්තල බුද්ධ ප්‍රතිමාවක්ද රැගෙන බව විහාරාධිපති මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.