fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලග්ගල කෝටි හයේ මංකොල්ලය රජමහා විහාර හිමිනමකගේ සැලසුමක් -09ක් අත්අඩංගුවට

    ලග්ගල කෝටි හයේ මංකොල්ලය රජමහා විහාර හිමිනමකගේ සැලසුමක් -09ක් අත්අඩංගුවට

    මාතලේ ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට පසුගිය නොවැම්බර් 10 වෙනිදා කඩාවැදී නිවැසියන් ගැටගසා රුපියල් හයකෝටි විසිහත්ලක්ෂයක මැණික් , මුදල් හා ස්වර්ණාභාරණ කොල්ලකෑ කල්ලියට නායකත්වය දුන් මාවතගම පිහිටි රජමහා විහාරයක හිමිනමක් ඇතුළු 09 දෙනෙක් ලග්ගල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කොල්ලය සැළසුම්කර ඇත්තේ හිමිනමගේ සැළසුමකට අනුව බවත් මේ සඳහා හමුදාවෙන් පළාවිත් සිටින සෙබලු 05 දෙනෙක් සම්බන්ධ වී ඇති බවත් හෙළිවී ඇතැයි පොලීසිය කියයි.

    දැනට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින්නේ මෙම කොල්ලයට පැමිණි හමුදාවෙන් පළාවිත් සිටින තවත් සෙබලු දෙදෙනෙක් පමණක් බව පොලීසිය සඳහන් කරයි.

    අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් හෙළිවූ තොරතුරු මත කොල්ලකෑ මුදල්, මැණික් ඇතුළු දේපොලවලින් කොටසක් සොයාගෙන ඇත.

    හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ සහෝදරයා සමග විහාරස්ථානයේ ආවාස ගෙයි සිවිලිමක සැඟවී සිටියදී බව පොලීසිය කියයි.

    මෙම කොල්ලය පසුගිය නොවැම්බර් මස 10 වෙනිදා සිදුවූ අතර ඒ සඳහා කොල්ලකරුවන් ගමන් කළ වෑන් රථයක්ද පොලීසිය සොයාගෙන ඇත. මැණික් ව්‍යාපාරිකයා බිය ගැන්වීමට යොදාගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝල දෙකක් වන අතර එම සෙල්ලම් පිස්තෝලද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරුවන් මාකොල, කුරුණෑගල, මාවතගම, අනුරාධපුර සහ බලංගොඩ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. මෙම පිරිස මාවතගම විහාරස්ථානයේ හිමි නමගේ සමීප හිතවතුන් බවත් මෙම කොල්ලය සිදු කිරීමට පෙර කොල්ලකෑම් කිහිපයක්ම මෙම කල්ලිය විසින් සිදුකර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

    මෙම කල්ලිය මුලින්ම කොල්ලකෑමට සැළසුම්කර තිබී ඇත්තේ ලග්ගල පිහිටි බැංකුවකි. එය අසාර්ථක වූ තැන මැණික් ව්‍යාපාරිකයා කොල්ලකා ඇති බව පොලීසිය කියයි. කොල්ලකෑ මුදල් වලින් එක් සැකකරුවෙක් සිය නිවසට ලක්ෂ දෙකහාමාරක මුදලක් වැයකර තිර රෙදි දමා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img